Tuesday, February 11, 2014

නිකමට ලියවුන පිළිතුරු කවිය...

            අද මූණු පොත පැත්තට ආවේ පුදුම කම්මැලිකමකින්..උණ හැදිලා එපා වෙලා වගේ හිටියේ..මූණු පොතට ඔලුව දාපු ගමන් දැක්කේ මගේ හිතාදර ලෙමන් මිත්‍රයා ලියපු කවි පන්තියක්...කරන්න ලොකු වැඩකුත් නැති එකේ නිකමට ලිව්වා ඒ කවි පන්තියටම පිළිතුරු කවි පන්තියක්...කාලෙකින් මොකුත් මේ පැත්තේ ලියන්න වුනේ නැති නිසා ඒක ලියන්න හිතුනා... 

මේ තියෙන්නේ මිත්‍රයාගේ කවිය...

තනිය...

පිදුව හාදුත් 
දෙතොල් උල්කර 
වියළුනා පෙම් 
තලාවේ.. 

කීව රහසුත් 
මගේ හිත යට 
ගැඹුරු කොන 
වැළලුනාවේ.. 

ලීව පෙම්පත් 
සමඟ මතකය 
සුළඟෙ පාවී 
ගියාවේ..

හීනෙකින්වත් 
ආයෙ එන්නට 
අපේ හිත් 
මැලිවුනාවේ..

පාළු හෙම්බත් 
මගේ ලෝකේ 
තනිය ඔහෙ 
රජවුනාවේ.. 

- චාන් © 2014

         මේ කවිය කොල්ලෙක්ගේ ඇසින් ලියලා තියෙන නිසා නිකමට වගේ පිළිතුරක් ලියන්න හිතුනා..පිළිතුරු කවියක් නිසා පද ටික ගලපගන්න ගන්න නම් එච්චර අමාරු වුනේ නෑ...

මේ තියෙන්නේ ඒ පිළිතුර...

දෙතොල් මැදිකර
පිදුව හාදුව
වියැලුනා නොව
වි‍යැලුවා...

කනට ලංකර
කීව රහසුත්
වැළලුනා නොව
වැළලුවා...

ඔබේ මතකය
සමග පෙම්පත්
පාවුනා නොව
පා කලා...

හීනෙකින්වත්
එකතුවන්නට
අපේ හිත් දෙක
මැලි වුනා...

සිනහ නොදකින
අඳුරු ලෝකෙක
අපේ ජීවිත
තනිවුනා...