Thursday, June 2, 2016

කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - III කොටස

            අද ජුනි මාසේ පළවෙනිදා...මාස එකොලහකට පස්සේ ආයේ Blog එක පැත්තට ගොඩ වැදුනේ අවුරුද්දකට විතර කලින් වුන පොරොන්දුවක් නිසා ලියන්න පටන් ගත්ත කතාව ලියන්න...මේ මාසේ 18 වෙනිදට Inter-University Tournament එක ගිහින් අවුරුද්දක් වෙන්න එන නිසා දැන්වත් මේ කතාව ලියලා ඉවරයක් කරන්න ඕන කියල මටම හිතුණා...මේ කතාව පරක්කු උන වැඩි නිසා අපේ ටීම් එකේ අය විතරක් නෙවෙයි ටීම් එකේ හිටපු පරණ අයියලත් මුණගැහුන හුඟක් වෙලාවල ඇහුවා "කෝ මල්ලි අර කතාවේ ඉතිරි ටික???" කියලා...සුරේන් නම් සෑහෙන නෝන්ඩියක් දානවා "කෝ බං අර මූ ලියනවා කිව්ව කතාව.." කියලා...
     අන්තිම කතාව ලිව්වට පස්සේ මට කවීන් කියපු දෙයක් තමා මම ඒ කතාව හදිස්සියේ ලියන්න ගිහින් පළවෙනි කතාවේ ගෙනාපු ගැම්ම නැති කරලා කියලා...ඒක නිසා මේ කතාව හදිස්සියක් නැතිවම ලියන්න ඉඳලා චරියා කියන්න වගේ කල් පන්නගත්තාද මංදා කියලත් මට හිතෙනවා...කොහොම උනත් මෙච්චර කල් පරක්කු වෙන්න හේතු දෙකක් මගේ පැත්තෙන් තිබුණා...ලොකුම හේතුව තමා මගේ ලියන්න තියෙන කම්මැලිකම...දෙවැන්න තමා මේ කතාව ඉවර කරන්න මගේ හිතේ තිබුණ සැලැස්ම හරියට පිළිවෙලක් කර ගන්න බැරි වුන එක...කමක් නෑ..අවුරුද්දකට කලින් වෙච්ච සිද්ධි ආයෙත් මතක් වෙන්නත් එක්ක මේ කතාවත් කියවලා බලන්න...කලින් කතා දෙක කියවපු නැති අයට සහ අමතක අයට මෙතනින් ගිහින්  පරණ කතා දෙකත් කියවලා එන්න පුලුවන්...
කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - I කොටස
කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - II කොටස


      අන්තිම කතාව නැවතුනේ දුෂාගේ පත්තු දෙකේ වික්‍රමයෙන් පස්සේ ආපහු hostel එකට පිටත් වුන තැනින් කියලා මතක ඇති නේ...එදා උදේ වරුව ඔය වගේ විකාර රූපී ආතල් සිද්ධි මැද්දේ ගලාගෙන ගියා..අපි ඔය විදියට බරක් පතලක් නෑ වගේ හිටියට tournament එකේ තරඟ තීරණාත්මක තැනකට ඇවිල්ලා තිබුණා...එදා හවස ඉඳන් Quarter-Finals පටන් ගන්න නියමිත වෙලා තිබුණේ.මේ මැච් ඔක්කොම Knockout විදියට තරඟ වදින නිසා හැම මැච් එකක්ම Final මැච් එකක් වගෙයි අපිට දැණුනේ...අපිට Quarter සෙට් උනේ ගිය පාර Inter-Uni Champions වුන කැලණිය...ගිය සැරේ Semi-Final එකේ පැරදුණ වාඩුව ගන්න තමයි අපේ ටීම් එකම ඉතසිතින් බැති සිතින් සූදානම් වෙලා හිටියේ...අපේ girls ටීම් එකත් Quarter-Finals තේරිලා හිටිය නිසා ඒ මැච් එකත් අපේ මැච් එකත් එකම තැනක තිබුණ නිසාත් අපි හවස 3 විතර වෙද්දි St. Michael's College court  එකට යන්න පිටත් වුනා..අපිට මැච් එක තිබුණේ 6.30ට වුනාට girls ටීම් එකේ මැච් එකට cheer එකක් දෙන්නත් එක්ක තමයි අපි කලින්ම පිටත් වුනේ..කොහොමින් කොහොම හරි girls ටීම් එකේ ජයග්‍රහණයෙන් පස්සේ අපේ මැච් එක පටන් ගත්තා...සුරේන්ගේ තමන්ටම control කරගන්න බැරි වේගයත් චරියා  ලකා ඇතුළු අනික් අයගේ දක්ෂතාවයත් නිසා මුල ඉඳන්ම මැච් එකේ වාසිය අපේ පැත්තට හැරුණා..විනාඩි 40ක් අවසානේ අපේ කණ්ඩායම ජයග්‍රහණය කලේ ශූරතාවයට තව අඩියක් ලං වෙමින්...මැච් එකෙන් පස්සේ warm down කරගත්ත අපි පොඩි කයියක් ගහලා අපේ මැච් එකට පස්සේ තිබුන මෝරා වයඹ මැච් එකත් පොඩ්ඩක් බලන් හිටියා...ඒ ඉන්න මොහොත අතර තුර අපේ පාරිභාෂික වචන මාලාවට "ලකා මානසිකව වැටෙයි යකෝ.." කියන කතාවත් එකතු වුනා..ඒකට හේතුව වෙන්නේ ලකා සෑහෙන සීරියස් dial එකක් වීමයි...(මී හරකා වගේ ඇඟපත තිබ්බත් මූ බබෙක් වගේ එකෙක් කියලා අපිට හරියටම තේරුණේ පහුවෙනිදා..) මොකක් හරි පොඩි දෙයක් කිව්වොත් ඌ සෑහෙන හිතට ගන්න නිසා ලකා එක්ක ගණුදෙනු කරන්න යසස් bro සහ ඩමියා  බාරගත්තා...
      වැඩිය රෑ බෝ වෙන්න කලින් එතනින් පිටත් වෙලා අපි hostel එකට ආවා...කට්ටිය wash එකක් එහෙම දාලා කාලා බීලා ඉවර වෙලා අපිට තිබුණ කාමර තුනෙන් පිළිවෙලටම තිබ්බ කාමරේ වුන චරියලාගේ කාමරේට සෙට් වුනා...එදා රෑ වෙද්දි අපේ ටීම් එකට එච්චර හොඳ වාතාවරණයක් තිබුනේ නෑ...මොකද කියනවා නම් උදේ ඉඳන් බඩේ අමාරුවක් තිබුණ සුරේන්ට උණ ගැනිලා තිබුණා...අපේ ටීම් එකේ ඩොකා වුන දුෂා ඕන කරන බෙහෙත් එහෙම කලින්ම ගෙනත් තිබුණා..අමතරව ඕන කරන බෙහෙත් එහෙම මගදි pharmacy එකෙන් අරගෙන සුරේන්ට දීල තිබුණා..ඒ මදිවට මැච් එක අතරතුර කොහොමහරි යසස් අයියගේ කකුලට හොඳ පාරක් වැදිලා තිබුණා..Hostel එකට එද්දි කකුල පොඩ්ඩක් ඉදිමිලා වගේ තිබුණේ..කාමරේට සෙට් උන වෙලාවේ කට්ටියගේ සුවදුක් විමසල බාම් එහෙම ගාල ප්‍රථිකාර දිදී තමා හිටියේ...ඒ අස්සේ යොහන් චරියගෙ කකුලේ තුවාලෙකට බෙහෙත් දානවා..බෙහෙත් දානකම් සද්ද නැතිව හිටපු චරියා බෙහෙත් දාලා ටික වෙලාවකින් කෑ ගහනවා...බැලුවම යොහොන් බෙහෙත් දාල ඉවර වෙල වෙලා එතනින් නැගිටිද්දි තුවාලේ අයෙමත් පාගලා...ඔය අතර ටීම් එකේ කලින් අවුරුදු වල හිටපු අයියලා අපිට කලා කියලා කියන්නත් යසස් අයියා සහ චරියා අමතක කලේ නෑ..අපිට Semi-Final සෙට් වෙලා තිබුණේ කොළඹ...පළවෙනි වටේදී වයඹ ටීම් එකෙන් හිතුවේ නැති පරාජයක් වින්දත් කොළඹ ටීම් එක ප්‍රබල ටීම් එකක් කියන එක අපි දැනගෙන හිටියා...සර් එනකම් කාමරේ තැන තැන වැටිලා එක එකාට ඕන උදව් පදව් කරගෙන හිටිය අපි සර් ආවම හෙට දවස ගැන කතා බහ කරලා නිදා ගන්න විසිර ගියා...ඒ පහුවෙනිදා ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන...

      පහුවදා අපේ මැච් එක පටන් ගන්න තිබුණේ උදේ 8ට උනත් පාන්දර නැගිටලා අපි Eastern University court එකට යන්නේ උදේ 6.30ට අපේ girls ටීම් එකේ Semi-Final මැච් එක තිබුණ නිසා...කලින් දවසේ රෑ යසස් අයියා Pharmacy & Medicine වැඩේ බලන මට කතා කරලා කිව්වේ "මල්ලි අපිට තියෙන හැම සතේම වියදම් කරලා හරි කමක් නෑ උදේ තියෙන මැච් එකට ඕන කරන බඩුටික ගන්න" කියලා...ඉතින් court එකට යන්න කලින් food city එකක් ලඟ නවත්තලා ටීම් එකට ඕන ice bag,energy drink වගේම කන්න බොන්න දොඩම් කෙහෙල් ගෙඩි එහෙමත් ගත්තා..ජුනි මාසේ කියන්නේ ලංකාවම ඇති පදමට රත් වෙන මාසයක් නිසා මඩකලපුවේ රස්නේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ...අනික අපි පහුගිය මැච් ඔක්කොම වගේ ගහපු St. Michael's court එක වගේ නෙවෙයි Eastern Uni එකේ court එක..St. Michael's court එකේ වහලයක් තියෙනවා...මේකේ ලඟ පාතක ගහක් කොලයක් වත් නෑ කියහංකෝ..කෙල්ලොන්ගේ මැච් එක ඉවර වෙද්දි 8.30ට වගේ ලං වුනා...උදේ 8.30 උනත් එහේ තිබ්බේ දවල් 12 වගේ රස්නයක්... 
      කොහොමහරි මැච් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ගතවෙච්ච පැය මට නම් හරි නපුරු හීනයක් වගේ වුනා...උදේ පාන්දරම සුරේන්ගේ සුපුරුදු play-up එක miss වුන තැන ඉඳන් මැච් එක පුරාවටම අපේ ටීම් එකට අවාසනාවේ සෙවනැල්ල වැටුණා...පලවෙනි quarter එක ඉවර වෙද්දිම ලකුණු 15ක් විතර පරතර්යක් තියගන්න කොළඹ ටීම් එක සමත් වුනා..අපේ ටීම් එක සෑහෙන උත්සාහයක් දැරුවත් ඒ gap එක මැච් එක පුරාවටම අල්ලන්න අපිට අමාරු වුනා...චරියාගේ දණහිසේ අවුල ආයේ ආපු එකත් සුරේන් ලකා වැටිලා තුවාල වෙච්ච එකත් 3rd quarter එක ඉවර වෙන්නත් කලින් නුවා foul 5 ගහලා එලියට එන්න වුන එකත් අපිට කරුමෙටම හිටියා..මැච් එක ඉවර වෙලා සුරේන් සහ ලකා එලියට ආවේ නහයෙන් ලේ ගලද්දි..මැච් එක ඉවර වෙලා කට්ටිය තරම ඈතකට ගිහින් මහන්සි ඇරියා...ඒ වෙලාවේ කට්ටියගෙම ඇස් වල කඳුලු නොතිබුණ කිව්වොත් බොරුවක්...චරියට මහන්සියට ඇස් දෙකවත් ඇරගන්න බැරිව ටික වෙලාවක් හිටියා..Bench එකේ හිටිය අපි, කට්ටියව warm down කරලා relax කරද්දි තමා ලකා මෙතන නෑ කියලා තේරුණේ..බලද්දි මිනිහා වෙනම ගහක් යට ගිහින් වඩි වෙලා උටම ආවේනික වෙච්ච ආම්පන්න ටික ගලවන ගමන් අඬනවා...පස්සේ ඩමියයි මමයි ගිහින් ලකාව අපි හිටපු තැනට එක්කගෙන ආවා...ටික වෙලාවකින් අපි court එකෙන් hostel එක බලා පිටත් වුනේ මූලික බලාපොරොත්තු සුන් වෙලා...නමුත් එතනින් පිටත් වෙන්න කලින් කට්ටියම වට වෙලා team talk එක දාන වෙලාවේ කිව්වේ මැරිලා හරි හවස Consolation Final මැච් එක දිනලා ජ'පුරට ගෙනියන්න පුලුවන් උපරිම දේ අරගෙන යනවා කියලා...
      බස් එකට නැගලා කට්ටිය වාඩි වුනාට පස්සේ උදේ ගත්තු දොඩම් කෙසෙල් ටික කට්ටියට බෙදලා දන්න පටන් ගත්තා...ඒ ටික බෙදන්න බලද්දි එතන පොඩි ප්‍රශ්නයක්...කෙසෙල් ටික තිබ්බත් දොඩම් ටික නෑ...බස් එක පුරා හෙව්වත් හොයගන්න නෑ...කට්ටියගේ mood එක අවුල් නිසා ඕක හොයන්න උවමනවක් ආවෙත් නෑ වැඩිපුර...ඒක අමතක කරලා දාලා කෑම අරන් එන්න යන්න සූදානම් උනා..
(දොඩම් ටිකට මොකද උනේ කියලා ඊට පැය කීපයකට පස්සේ එලි වෙනවා..) වෙනදට බස් එකෙන් එලියට බහින්න පොරකන එවුන් ටික අද කිසිම කික් එකක් නැතිව වැටිලා ඉන්නවා දැක්කම පට්ට අවුල්...ආයේ hostel එකට එනකම් කට්ටිය "හ්ම් " සද්දයක් නෑ..පට්ට පාලුයි...Hostel එකට ඇවිත් wash  එකක් දාලා අයිස් තියන අයගේ කකුල් වල අයිස් තියලා කට්ටිය ගැන පොඩ්ඩක් බලලා කාලා බීලා ටීම් එකම පොඩි නින්දක් දැම්මා...
     මම නින්දෙන් ඇහැරුනේ
ඩමියා ඇවිත් නැගිට්ටුවට පස්සේ...ඩමිය ඇවිත් "වරෙන් කට්ටිය චරියගෙ කාමරේට සෙට් වෙන්න හදන්නේ" කිව්වා..මෙහේ ආපු දා ඉඳන් චරියගෙ කාමරේ කියන්නේ ටීම් එකේ මූලස්ථානේ වගේ place එක..මමත් washroom එකට ගිහින් මූණ කට හෝදන් ඇවිත් උඩ තට්ටු ඇඳක වාඩියක් දැම්මා...එතන රස ආකරයයි...මොකක් හරි දෙයක් අල්ලගෙන එක එකා bite කරනවා...ඔතනදි තමයි අර දොඩම් මල්ලට මොකද වෙන්නේ කියල එලි වෙන්නේ...අපි මැච් එකට යද්දි අවින් ඔය දොඩම් මල්ලත් අරන් ගිහින් තියෙනවා...හැබයි warm-up කරන්න යද්දි ඒක ආයෙත් අපේ බඩු ලඟින් තියන්න අවින්ට අමතක වෙලා...ඒක එකේ ඇති කියද්දි කවීන් මැද්දට පැනලා කියනවා "ආහ්..මම දැක්කා එකේ කොල්ලො වගයක් අපි බෑග් තියලා තිබුණ තැන ඉඳගෙන දොඩම් කනවා දැක්කා" කියලා...එතනින් එහාට ඉතින් කට්ටියගේ කතා හිතාගන්න පුලුවන් නේ...කොහොම හරි ඊළඟ වාරය ආවේ යොහන්ට..කට්ටියටම මීටර් යොහාන් කාට හරි ඇල්ම බැල්ම දානවා කියලා..කට්ටියට ඕනා ඒ (අ)වාසනාවන්ති කවුද කියලා හොයාගන්න...කොහොමින් කොහොම හරි අපේ තව එවුන් දෙන්නෙක්ගේ හදවත් පාරමින් උගේ කටින් ඒක එලියට ආවා..හොඳම වැඩේ කියන්නේ හිත් රිදිච්ච එවුන් දෙන්නටම මූ කලින් පොරොන්දුවෙලා අදාළ කෙනා සෙට් කරගන්න උදව් කරන්නම් කියලා...උගේ කතාව අස්සේම යසස් අයියාවත් කරන්න පොටක් පෑදුන නිසාම ඒ ගැම්මට යසස් අයියාවත් කෙල්ලෙකුට ඈඳලා කතාව පටන් ගත්තා...ඒත් ඒකෙන් අන්තිමට යසස් අයියා "අයියා - නංගි" සහෝදරත්වයේ දිග-පළල-ගැඹුර ඔක්කොම පහදලා දුන්නේ bite කිරිල්ල පැත්තකින් තියලා අපිව serious දේශනයක ශ්‍රාවක පිරිසක් කරමින්...ඔය ඔක්කොම අස්සේ අපේ ටීම් එකේ රස දෙන්න උපන් දක්ෂය වෙච්ච දුෂා අයියගේ ආතල් කෑලිත් නොතිබුනාම නෙවෙයි...කොතනත් හිමිජ්ජා වගේ ඉන්න ධනා කට්ටියගෙම කතා record කරලා කියලා දැනගන්නේ ඔක්කෝටම පස්සේ...(පහු වෙද්දි ධනාට තර්ජන එහෙමත් ආව ඔය video කිරිල්ල නිසා...) ඔය අතරේ චරියා නම් කිය කිය හිටියේ මෙතනින් පස්සේ ටීම් එකෙන් යසස් අයියයි ලකායි යන නිසා ලබන අවුරුද්දේ  championship එක දිනාගන්න පුළුවන් කියලා...එතන ගියපු කතා වැඩිහරියක් ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් කරන්න අපහසු විත්තිය නොකියා බෑ...
     
ඔය වගේ පිස්සු session එකකට පස්සේ කට්ටිය අර තිබුනු මූසල mood එක මාරු කරලා යථා තත්වයට ආවා...අපේ exam මැද්දේ මේ ගමන ආව නිසා හවස මැච් එකෙන් පස්සේ රෑම මෙහෙන් පිටත් වෙන්න ටීම් දෙකම තීරණය කරලා තිබුණ නිසා කට්ටිය ආයෙත් පිස්සු නටන්න පටන් ගත්තා...හවස මැච් එකට කලින් girls ටීම් එකේ final එකත් පොඩ්ඩක් බලලා යන්න හිතාගත්ත අපි කට්ටිය හැන්දෑවේ 4 වගේ වෙද්දි hostel එකෙන් පිටත් උනා...මුලින්ම Girls Finals තිබුණ Eastern Uni එකට ගිය අපි එතන 1st quarter එක ඉවරවෙනවත් එක්ක වගේ අපේ මැච් එක තිබුණ අපේ වාසනාවන්ත St. Michael's court එකට පිටත්වුනා...අපිට Consolation Final මැච් එක තිබුනේ Jaffna ටීම් එකත් එක්ක...අපි එතනට යද්දි Girls Consolation Final මැච් එක...ඒකේ නිමාවත් එක්ක අපේ තරඟය පටන් ගත්තා...කට්ටියම එකතුවෙලා උදේ තිබුණ අවාසනාව පැත්තකට ඇදලා දාලා මැච් එක අපේ අතට ගත්තේ මැච් එකෙන් බාගයක්වත් යන්න කලින්...ඒ උනත් නුවා සුපුරුදු පරිදි පිට පිට දෙවෙනි වතාවටත් foul 5 ගහලා එලියට ආවේ 3rd quarter එකටත් කලින්මයි..(නුවා foul 5 ගහලා එලියට එන විදිය තමා බලන්න ලස්සන..කිසි කණගාටුවක් නෑ..සර් කියපු විදියටම වැඩේ කලා වගේ හැඟීමකින් හිනා වෙවී එන්නේ..) මැච් එකේ කට්ටියම up වෙලා ආව තැන් දෙකක් තමා යසස් අයියා L එක කිට්ටුව ඉඳන් ගත්ත shot එක හා දුෂා rebound අරන් shot කරපු අවස්ථාව...සුරේන් උගේ ආවේණික වේගයෙන්ම play-up ටික සුපිරියටම දැම්මා..කොහොම උනත් මේ මැච් එකෙත් අපේ කට්ටිය පිස්සු නැටුවේ නෑ කියන්න නම් බෑ..2nd half එක පටන් ගනිද්දි හය දෙනෙක් එකට court ගියපු එක ඒ අතරින් ප්‍රධානයි..Half time එකට කලින් යසස් අයියට sub වුන කවීනුයි යසස් අයියයි දෙන්නම එකෙන් පස්සේ ඇතුලට ගියපු එකෙන් තමා ඒ අවුල උනේ..කොහොම උනත් විනාඩි 40 ඉවර වෙද්දි අපේ ටීම් එකට පුලුවන් වුනා ජ'පුර නම 3 වන ස්ථානයට ඔසවලා තියන්න...මැච් එකේ final whistle එකත් එක්කම අපි කලේ court එකට දුවගෙන ගිහින් man of the match වෙච්ච සුරේන්ව කරේ තියාගත්ත එක...කොහොමින් කොහොම හරි පිට පිටම තුන්වෙනි වතාවටත් Inter University 2nd Runners Up වෙන්න අපිට අවස්ථාව ලැබුණා...ඒත් හැමදාම වගේ අපිට තියෙන semi-final අපලය නම් මේ සැරේ නිමා වුනේ නෑ...නමුත් තරඟාවලිය ජයග්‍රහණයකින් අවසන් කරන්න ලැබුණු සතුටත් එක්ක ටික වෙලාවක් photo ගහපු අපි එතනින් hostel එකට පිටත් වුනේ බඩු අස් කරගෙන කොළඹ එන්න හිතාගෙන...Hostel එකට ගිය අපි ක්ෂණිකව wash එකක් දාගෙන දවස් හතරක් ගත කරපු සුන්දර මතක ගොඩකට පාර කපපු ඒ කාමරෙන් නික්මිලා බස් එකට නැග්ගා..(ඔන්න ඔය බඩු අස් කරන් එද්දි තමා අර දුෂා අතුරුදහන් කරපු සෙරෙප්පු ටික අහුවුනේ..) girls ටීම් එක Champions වෙලා තිබුණ නිසාත් මානසිකත්වය පට්ටම යහපත් නිසාත් මඩකලපුවේ ඉඳන් පොලොන්නරුව කිට්ටු වෙනක්ම්ම සිංදු සෙට් එකක් ගහන්න යසස් අයියා ඩමිය සුරේන් කවීන් ධනා සහ මම ඇතුළු කට්ටිය වග බලාගත්තා..අපේ සිංදු නැගලා යද්දි චන්න සර් උනත් අපිත් එක්ක එකතු වෙලා විනෝද වුනා...Campus එකේ බස් එකේ driver අයියට පිං සිද්ධ වෙන්න පහුවදා පාන්දර 5 වෙද්දි කොළඹට එන්න අපිට හැකියාව ලැබුණා...
කට්ටිය කොළඹ ආවට පස්සේ Tournament එකේ රසබර සිද්ධි ලියලා ඉවරයි කියලා හිතුවොත් වැරදීමක්...මොකද මුළු Tournament එක පුරාම පොදුවේ සිද්ධ වුන කතා වගේම එහේ කරපු වැරදි පහු වෙලා මාට්ටු වුන සිද්ධිත් තිබුණා...දැන් හදන්නේ ඒ කතා ටික ලියන්න...
දෙවනි කොටස ලියද්දි අමතක උන කතාවක් තමා ධනාගේ Aggressive සෙල්ලම් කිරිල්ල...ඒකත් අන්තිම මොහොතේ මතක් කලේ නැත්නම් අඩුපාඩුවක් වගේ දැනෙන නිසා කියන්නම්.. රුහුණ එක්ක මැච් එකේ එක වෙලාවක අපේ පුහුණුකාර චන්න සර් ධනාව මැච් එකට දානවා "ධනා..පොඩ්ඩක් aggressive සෙල්ලම් කරනවා" කියලා...මුගේ aggressive සෙල්ලම් කිරීම කොහොමද කියනවා නම් විනාඩි එකහමාරක් යන්න කලින් කොල්ලා foul දෙකයි..තව විනාඩියක් ගියේ නෑ ධනා එලියට ගත්තා..එතනින් එහාට ඉතින් "ධනා aggressiveසෙල්ලම් කලා වගේ" කියලා එකකුත් අපේ කටවහරට ආවා..
ටීම් එක washroom යන වෙලාවට කට්ටියම පොදුවේ පත් වුන අපහසුතාවයක් තමා කවීන්ගේ නිමක් නැති ගායනය..(මිනිහා හිතාගෙන ඉන්නේ මිනිහට සිංදු කියන්න පුළුවන් කියලා..අපි නේ දන්නේ ඒකේ තරම.) ඩමියට අනුව උගේ කටහඬ ස්ත්‍රී පරාණයක වගේ...සුරේන්ට නම් ඒකේ එහෙමවත් ගන්න දෙයක් නෑලු..ඔය සිද්ධියට ප්‍රසිද්ධම හේතුව විදියට කියන්න පුලුවන් වෙන්නේ ගෙදර එකේ දොරක් නැති කම තමා...(සමහරවිට මුගේ ගෙදරත් එහෙම වෙන්න පුලුවන්..)
ඊළඟ කරුණ තමා සුරේන්ට අනික් අයගේ නම් කියද්දි එන ගැටළුව...දමියා(සිකී) ඩමියා වෙන්න ප්‍රධාන හේතුව ඕක තමා..කවීන්ට කවීන..අවින්ට අවීනා..කියලම තමා මුට කිය වෙන්නේ...අන්තිමට කවීනුත් සුරේන සුරේන කියන්න ගත්තාම පොඩ්ඩක් නැවතුනා..(ඒත් තාම දමියා ඩමියාමයි... )
එතනින් පස්සේ මතක් වෙන්නේ චරියගේ පාරිභාශික වචන මාලාව තමා..එහෙම කිව්වට ඒක එහෙම අවුල් වචන මාලාවක් නම් නෙවෙයි..චරියට සෑහෙන පුරුද්දක් තියෙනවා කාට හරි මොකක් හරි උන ගමන් "අපේ පැත්තේ එකෙක්ටත් ඔහොම එකක් වෙලා ඌට මෙහෙම උනා අරම උනා" කියලා කියන්න...කොටින්ම කිව්වොත් අච්චර අවුල් වෙලා තිබුණ Semi-Final මැච් එකෙත් ලකා වැටුන වෙලාවෙ "අපේ පැත්තේ එකෙක්ටත් ඔහොම එකක් වෙලා ඌ මලා බං" කිව්වා කියපංකො...චරියා නිසා අපිට වචන වලට "Chill/Se* එකක් දාමුද bro" වගේ වචනත් ආවා...(Bro, Bromance වගේ ඒවත් ආවේ චරියගෙන් කියල මුල්ම කොටසේ කිව්වා මතක ඇති නේ..) 
කොහෙන් කොහොම ගියත් රස කතාවක් නම් අවසානයට එන්නේ එකම පුද්ගලයෙක් ලඟට...ඒ තමා අපේ උමතු දොස්තර දුෂා ලඟට...මේ වැරැද්ද අපිට අහු වෙන්නේ කොළඹ ඇවිත් tournament එකේ photo බලද්දි..සාමාන්‍යයෙන් මැච් එකකට අඳින jersey  එකේ ඉස්සරහින් ටීම් එකේ නමත් පිටිපස්සෙන් number එකත් නමත් ගහලා තියෙන්නේ...සුරේන්ට එක photo එකක් ලැබුණා දුෂා ඉස්සරහ නමයි number එකයි ගහගෙන ඉන්න jersey එකක් ඇඳන් ඉන්නවා....බැලින්නම් දුෂා ඒ මැච් එකේ තරමක් වෙලා සෙල්ලම් කරලා තියෙන්නේ jersey එක ඉස්සරහ පස්සට ඇඳගෙන...(ඒකත් Semi-Final මැච් එක) අපි ඒ ගැන දුෂාගෙන් ඇහුවම ලැජ්ජාවක් නැතිවම "ඔව් බං...මම half time එකේ shape එකේ මාරු කරගත්තා" කියලම කිව්වා...(ඒ අතින් නම් මිනිහා හරි අවංකයි.) එතනින් එහාට ආයේ කියන්න දෙයක් නෑනේ.. ටීම් එකම කිව්වේ එක වාක්‍යයයි...
"උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ..."
ප.ලි.
ඊයේ ලියන්න පටන් ගත්ත මේ කතාව අදවත් මෙහෙම ඉවර කලාට මෙහෙම අවසානයක් නෙවෙයි මගේ හිතේ තිබුණේ සහ තියෙන්නෙත්...මොකක්දෝ පෙර පිනකට එකේ තව අවුරුද්දක් ඉන්න වරමක් ලැබුණ නිසා ඒ කතාව පසුවට ලියන්න ඉඩ තියලා මෙතනින් නවතින්නම්...මේක ලියන්න දවස් දෙකක් ගත්තේ මේ දවස් වල Exam නිසා...

Sunday, July 5, 2015

කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - II කොටස

කලින් පෝස්ට් එක ලියද්දි හෙට අනිද්දාම අනික ලියන්නම් කිව්වට ඒ ගැම්මටම ලියන්න වෙලාවක් සෙට් වුනේ නෑ..අද චරියා bro සහ දුෂා broම මතක් කරලා " කෝ අනික??? " කියලා අහද්දි තමා ආයෙත් ලියන්න කික් එකක් ආවේ...කලින් පෝස්ට් එක කියෙව්වේ නැත්නම්
කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - I කොටස.... 
මෙන්න තියෙනවා ගිහින් කියවන්න පුලුවන්...

            එදා ලිව්වේ බස් එකේ යන වෙලාවේ වුන සිද්ධි නේ..කොහොම හරි අපි කරදරයක් නැතුව දවල් එක විතර වෙද්දි මඩකලපුවට ලඟා වුනා...යසස් අයියත් ලකාත් technical meeting  යන්න දෙක වෙද්දි පිටත් වුන නිසා හතරට Opening Ceremony යන්න අපි හොස්ටල් එකට වෙලා wash එකක් දාගෙන හිටියා..හොස්ටල් ගැන කියද්දි නම් අනිවාර්යෙන් කියන්න ඕනා හොස්ටල් ටික නම් හදලා තියෙනවා සුපිරියට...එක කාමරේට හතර දෙනා ගානේ වෙන්න 12 දෙනාට කාමර තුනයි...මමයි සිකියයි කවීනුයි යොහනුයි එකක...ලකා යසස් අයියා සුරේන් දුෂා තව එකක...චරියා නුවා ධනා අවින් අනිත් හතර දෙනා අනික් කාමරේ...කොහොම හරි wash දාගෙන කාල බීලා Opening Ceremony යන්න බලන් ඉන්නකොට හවසට Ceremony එක ඉවර වෙලා පාසිකුඩා beach එක පැත්තේ රවුමක් දාලා එන්න යන්න අදහසක් ආවා..කට්ටිය ඒකටත් හරි යන්න කොට කලිසම් තුවා සෙරෙප්පු එහෙම බෑග් වල දාගෙන එලියට බැස්සා..ලොකු සිද්ධියක් නැතුවම අපි Opening Ceremony එකටත් හිටියා...එකේදි අපි මුහුණ දීපු ලොකුම ප්‍රශ්නේ වුනේ පෝලිමේ ඉස්සරහින්ම ඉන්න කෙනෙක් හොයාගන්න එක..කොහොමහරි අන්තිමේ එක එක පිලිවෙලට පෝළිම හදලා සුරේන්ව ඉස්සරහට දාගත්තා...(ඉස්සරහ හිටපු නිසා සුරේන්ට පහන පත්තු කරන්නත් යන්න වුනා..කලබල වෙලා හිටිය නිසාද මංදා සුරේන්ට පහන පත්තු කර ගන්නත් තරමක ගේමක් දෙන්න වුනා..)

            Ceremony එක ඉවර වෙලා අපි ගියේ St Michael's College court එකට...එතන පේරා vs රුහුණ මැච් එක...ඒකත් ඉවර වෙනක්ම් බලන් හිටපු අපි එතනින් එළියට බැස්සා..කොහොම හරි අපි එතනින් එද්දි රෑ වෙලා වැඩියි..මේ රෑ ජාමේ මොන beachද කියලා කට්ටිය හිත හදාගෙන ආයේ හොස්ටල් එකට යන්න බස් එකට නැග්ගා..අපේ බස් එකට නැගලා බලන කොට පොඩි අවුලක්..දුෂා අරගෙන ආපු සෙරෙප්පු බෑග් එක missing...සුරේන්ගේ සෙරෙප්පු දෙකත් ඒක ඇතුලේ..ඒක කොහොම missing වුනාද කියන්න කාටවත් තේරුණේ නෑ..ඒ සෙරෙප්පු වලට වෙච්ච දේ හරියට දැනගන්න ලැබෙන්නේ අපි tournament එක ඉවර වෙලා ගෙදර එන දවසේ..  බෑග් එක නැතිකරපු දුෂා විසින්ම අයේ කොහොම හරි ඔය බෑග් එක හොයා ගන්නවා.. වෙන කොහෙන්වත් නෙවෙයි...එයාලගේ කාමරේම මේසේ උඩ තිබිලා...හොයලා බැලුවාම සිද්ධිය මේකයි..දුෂා සෙරෙප්පු ගෙනියන්න බෑග් එකට දාගත්තත් ඒ බෑග් එක මේසේ උඩ අමතක වෙලා දාල ගිහින්...වැඩේ කියන්නේ කාමරේම සෙරෙප්පු තියාගෙන tournament ගිය දවසේ ඉඳන් එන දවස වෙනකම්ම දවස් 4ක් දුෂායි සුරේනුයි සෙරෙප්පු නැතිව හිටපු එක...සෙරෙප්පු හොයාගත්ත වෙලාවෙත් සුරේන්ගේ කටින් අර සුපුරුදු වාක්‍යය එළියට එන්න වැඩි වෙලා ගියේ නෑ...
 "උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ "
            කොහොම හරි එදා රෑ කට්ටිය පහුවෙනිදට තියෙන මැච් වලට ලෑස්ති වෙලා එහෙම කලින්ම නිදා ගත්තා...කීය වෙනකම් හරි කමක් නෑ නිදි වරන් පාඩම් කරනවා කියලා ගෙදර තිබ්බ ඔක්කොම notes උස්සන් ආපු මමත් සිකියත් " අද නොවේ හෙට " කියලා සැපට නිදා ගත්තා...(මොනවා උනත් අපරාදේ කියන්න බෑ..ඒ notes වලින් බහුතරයක් ගෙනියපු විදියට බෑග් එකේම තියෙද්දි එකම එක note එකක් දවස් තුනක් මාත් එක්ක ඇඳේ නිදා ගත්තා කියලා දන්නේ මගේ කාමරේ හිටපු උන්ම තමා...)
පහුවෙනිදා දවස රස ගන්න රස දෙන්න වෙලාවක් තිබුනේ නෑ..උදේ 8ට ගිනි අව්වේ මැච් ගහලා අයේ හවස 6.30ටත් මැච් එකක් ගහන්න අපිට වුනා..දෙවෙනි දවස ඉවර වෙලා අපි හොස්ටල් එකට ආවේ ජයග්‍රාහි මානසිකත්වයෙන් සහ හොඳ පණ ගිහින්... ඊට පහුවදා ඒ කියන්නේ තුන්වෙනි දවසේ උදේම මැච් තිබුණේ නැති නිසා අපිට එදා නම් රෑ වෙනක්ම් ඉන්න පුළුවන්කම තිබුනා..එදා තමා මමයි සිකියයි පොතක්  අල්ලන්න පටන් ගත්තේ..ඒ ඇල්ලීම හුදෙක් ඇල්ලීමක්ම විතරක් වුනා..පොත පෙරළුවා විතරයි නිදිමතයි..හරි යන්නේ නෑ..පටන් ගත්තා අපි දෙන්නා කවීන් අල්ලගෙන කයියක්..යොහාන් නිදි පෙරේතයා පොලොවේ ගැහුවා වගේ..11.30ට වගේ ලකාත් එනවා අපේ කාමරේට පාඩම් කරන්න කියලා..stat පොතක් අරන් ආපු ඌත් ටිකකින් පොත් පැත්තක තියලා අපේ කයියටම සෙට් වුනා...පාඩම් කරන්න කියලා හිතපු අපි තුන්දෙනාගෙයි කවීන්ගෙයි කයිය පාන්දර 1.30 වගේ වෙනකම් ඇදුනා...ජීවිත කතා රස කතා ආදර කතා බාස්කට්බෝල් කතා ඔක්කොම එතන දිගෑරෙන්න පටන් ගත්තා..අපි එදා තමා දැනගත්තේ කෙල්ලෙක් නැත්නම් කවීන්ද සයන්ස්කාරයෙක් වන්නට හිටි එකෙක් විත්තිය...

          තුන්වෙනි දවසේ අපි ඇහැරෙනකොට 7ට වගේ...කලින් දවසේ අපි කතාකරගෙන තිබුනේ girls team එකත් එක්ක කට්ටියම කොහේ හරි කඩේකට ගිහින් කන්න..ඉතින් කට්ටිය ready වෙලා 8ට 9ට විතර එලියට බැස්සා...ඒත් කෙල්ලොන්ගේ බෝඩිමේ වතුර ප්‍රශ්නයක් නිසා girls team එකට වෙලාවට ලෑස්ති වෙන්න බැරි වෙලා...ඒ බව අපිට දැනුම් දුන්නේ අපේ වනිතා කටයුතු පිළිබඳ නියෝජිත යොහාන්...කොහොම උනත් බඩගින්න ඉවසන්න බැරි නිසා එරාවූර් වල කඩයකට අපේ team එක මුලින් කන්න ගියා...කන්න ගියාම අපේ කට්ටියගේ හැටි කියන්න ඕනේ නෑනේ..කෑම වැඩ බලන්න හිටිය යසස් අයියාගේ ඉහ මොල රත් වෙන්නම අපේ කට්ටිය කන්න වග බලා ගත්තා..නුවා චරියා ලකා දුෂා 20-20 batsmanලා වගේ බැට් කරන්න ගත්තේ..සුරේන්ගේ බඩේ අමාරුවක් නිසා සුරේන් පැත්තක් ගහල බලාගෙන හිටිය වෙන්නේ මොකද කියලා..ඒ අතරේ දුෂා තමා හොඳම වැඩේ කලේ...කඩේ වේටර් අයියා කෙනෙක් අපෙන් අඩුපඩු අහනවා..මෙන්න මෙහෙම...(සම්පූර්ණ දෙබසම යන්නේ සිංහලෙන්..වේටර් අයියත් කොහොමහරි සිංහලෙන්ම අහනව...)
වේටර් : මල්ලි මොනවද තව ඕනා...??
දුෂා : මොනවද අයියේ තියෙන්නේ..??
වේටර් : බිත්තර රොටි හදලා දෙන්න පුළුවන්..ඕනද???
දුෂා : ආහ්... හරි අයියේ ගේන්න..
වේටර් : කීයක් ඕනද මල්ලි???
දුෂා : ම්ම්ම්...පත්තු දෙකක් ගේන්න...
අපි : හුහ්..( ඇත්තටම හිතාගන්නවත් වචන නැති වුනා )
        අර දෙමළ කෙනෙක් වුන වේටර් අයියත් සිංහලෙන් කතා කරද්දි දුෂා දෙමළෙන් උත්තර දෙන්න ගිහින් නාගත්තා කියලයි මට නම් හිතුනේ...ඇත්තටම දුෂා පත්තු දෙකයි කියල අදහස් කලේ විස්සද දොළහද කියලා මට තාමත් හිතාගන්න බෑ..කොහොම උනත් අර අයියා ඕඩර් එක දුන්න බිත්තර රොටි හදන්න...මෙහෙම කෑවොත් මැච් පැත්තක තියලා කඩේ වළං හෝදන්න වෙනවා කියලා තේරුන නිසාද මන්දා යසස් අයියා "මල්ලි මේ කාපු තරම ඇති" කියල රතු නිවේදනය දුන්නා...

         දැන් කඩේ රොටි හදන කොල්ලා පණ දාගෙන බිත්තර රොටි හදනවා...දැන් තව කන්නත් එපා කියලානේ තියෙන්නේ..මුලින්ම ගෙනාවා බිත්තර රොටි පහක් විතර...ගෙනාවට පස්සේ දෙබස මේ විදියයි...
වේටර් : මල්ලි..බිත්තර රොටි ගෙනාවා..
යසස් අයියා : බිත්තර රොටි එපා අයියේ..මේ කෑවා ඇති..
වේටර් : ඇයි අර මල්ලි ගේන්න කිව්වේ...
යසස් අයියා : නෑ අයියේ..මේ ඇති...
වේටර් : (දුෂාගෙ ලඟට ගිහින් ) මල්ලි...ඔයා කියන්න මල්ලි..රොටි ඕනද..??
දුෂා : නෑ අයියේ මේ ඇති...
        වේටර් එතනින් එහාට දෙමලෙන් කියවන් ගියා විනාඩි තුනක් විතර.....(අපිට තේරුණේ නැති නිසා හොඳයි.. ) කොහොම හරි මම හිතුවේ ඒ වැඩේ නිසා උදේටත් කාලා ගුටිත් කාලා එන්න වෙයි කියලා...යසස් අයියාගේ කැපවීම නිසාම අන්තිමේ තුන්දහස් ගාණක බිලකින් ඒ වේල ගොඩ දාගන්න පුළුවන් වුනා..එතනින් පාරට බැස්ස අපි වහලා දාපු කඩයක් ලඟ බිම ඉඳගත්ත.. කෙල්ලො ටික එතනට කන්න එනකම් එක එක විකාර කරන්න ගත්තා..ඔහොම ඉන්නකොට තමා ධනාගේ dobsmash අදහස එලියට ආවේ...කට්ටියගේම ඒකඡන්දයෙන් වැඩේ අනුමත වුනා...කීප සැරයක් පුහුණුවීම් කරලා අන්තිමේ Despicable Me Banana track එකට අපි සාර්ථක dubsmash එකක් කලා...

අපේ dubsmash එක... #bromance in #bananaland

         දුෂා කඩේදි කල පත්තු දෙකේ වික්‍රමය නිසා දුෂාට පත්තුවා කියලත් කියන්න ගත්තා...කොහොමින් කොහොම හරි මේ හැම වැඩෙන්ම වුනේ සුරේන්ගේ වාක්‍යය ජනප්‍රියම වාක්‍යය වුන එක...අපි එතනින් පිටත් වෙද්දිත් සුරේන් කිව්වේ..

"ඒකනේ බං මම කියන්නේ මූ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ කියලා.. "

ප.ලි. : මේ කතාව හිතුවේ නැති විදිහට තුන්වෙනි කොටසකටත් ඉඩ ඉතුරු කලා...දවස් හතරක ගමනක මෙච්චර කතා තියෙන්න පුලුවන්ද කියලත් මටම හිතෙනවා..අනේ මන්දා..කොහොම වුනත් දොඩම් සිද්ධිය වගේම චරියා නිසා අපේ පාරිභාශික වචන මාලවට එකතු වුන වචන ගැනත් ලියන්න එහෙම්මමයි..තුන්වෙනි කොටසත් හෙට අනිද්දම ලියන බලාපොරොත්තුවෙන් (එතකොට සතියකින්වත් ලියන්න හිතෙයි නේ..) නවතිනවා...

             එහෙනම් කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - III කොටසින් හමුවෙමු .......

Tuesday, June 30, 2015

කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - I කොටස

         පුලුවන් තරම් Blog එක ලියනවා කියලා කොයිතරම් කයිවාරු ගැහුවත් මම මේ Blog එකට ගොඩ වදින්නේ මාස හයකටත් වඩා කාලෙකට පස්සේ...2015 අවුරුද්ද කියන්නේ මගේ කැම්පස් ජීවිතයේ අන්තිම අවුරුද්ද... (extended degree එකට select උනොත් තව එකක් ඉන්න පුලුවන් ).. 2015 ජුනි මාසය පටන් ගන්නේ අපේ අන්තිම අවුරුද්දේ පලවෙනි විභාග මාලාව පටන් ගැනීමත් එක්කමයි..මේ එක තව විශේෂ වෙන්න හේතුවක් තමා අන්තර් විශ්ව විද්‍යාලයීය තරඟ මාලාවත් මේ අස්සේම පැවතීම...ගිය අවුරුද්දේ අන්තර් විශ්ව විද්‍යාලයීය පැසිපන්දු තරඟ බලලා ඇතිවුන ආසාවට  මගේ ගජයො වන සිකියත් (ඔව් ඔව්..අර මංගල දැන්වීම දාපු එකා තමා...).. සුනෙතුත් මමත් පැසිපන්දු පුහුණුවීම් වලට යන්න ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම කාලේ...ඒ වෙනකොට අපිට තේරුම් ගිහිල්ල තිබුනේ කැම්පස් එකේ අපිට ගැලපෙනම තැන basketball court එකම තමා කියලා..exam වලට කෙල වෙන්න කියලා අමුතුවෙන් දෙයකුත් නැති එකේ කැපවීමෙන් practice වලට ගියා...

        කොහොමින් කොහොම හරි කාලයාගේ ඇවෑමෙන් 2015 අන්තර් විශ්ව විද්‍යලයීය තරඟ මාලාවත් ලං වුනා..අපි කල පෙර පිනකට මේ සැරේ tournament එකට යන team එකට අපි තුන් දෙනාත් තේරුනා..නමුත් කරුම සිද්ධිය වුනේ tournament එක exam එක මැද්දේ වැටුන එක...කොච්චර ලියුම් ලිව්වත් tournament එකවත් exam එකවත් කල් දාගන්න අපිට බැරි වුනා..අන්තිමේදී අපිට පුලුවන් උනේ අදාළ දවස් වල තියෙන papers කල් දාගන්න විතරයි...(ඒ කල් යාම නිසා අන්තිමේදී එක දිගට දවස් 3ක paper 4ක් ලියන්නත් වුනා..)..ඒකෙන් මේකෙන් වුනේ සුනෙත්ට tournament එකට යන්න බැරිවුන එක..ජුනි 18-22 දවස් වල නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පැවතුන Inter University Basketball Tournament එක අතරමැද සිදුවුන රසබර සිද්ධි ටිකක් තමා අද මම මේ Blog ගත කරන්න හදන්නේ...

        කල් ඇතුව කොච්චර practice කලත් team එකම සෙට් වෙලා practice කරන්නේ අන්තිම මාසෙනේ..Exam කටේ තිබුන නිසා team එකේ හිටපු අපේ facultyයේ සිකි,ලකා සහ මම යන තුන්දෙනාම හැම වෙලාවෙම නැතත් පුළුවන් හැම වෙලාවෙම practice යන්න වග බලා ගත්තා..සමහර දවස් තිබුනා paper එක ලියලා එහෙම්මම court එකට යන..මටයි සිකියටයි කෙසේ වෙතත් ලකාට නම් exam එක ඔලුවට සෑහෙන pressure එකක් වෙලා තිබුණා කියල පෙනුනා..(අපිට ඉතින් උන්න හැටියට මළා මදැයි නේ..) අපි කට්ටියම ඒ කිව්වේ boys සහ girls team දෙකම 18 වෙනිද උදේ පාන්දර කැම්පස් එකේ බස් එකෙන් මඩකළපුව බලා පිටත් වෙන්නේ දහසක් බලාපොරොත්තු පොඩි බැඳගෙන..

රසබර සිද්ධි කියන්න පටන් ගන්න කලින් අපේ එක හඳුන්වලා දෙන එක හොඳයි කියලා හිතුවා..(පහසුවට පිළිවෙළටම කියාගෙන යන්නම් )
4. සුරේන් Bro
5. යසස් Bro
6. නුවා Bro
7. චරියා Bro (c)
8. ධනා Bro
9. ලකා Bro (v.c)
10. දුෂා Bro
11. කවීන් Bro
12. මම Bro
13. අවින් Bro
14. යොහාන් Bro
15. ඩමියා Bro හෙවත් සිකියා

          ඔය Bro කියන නාමය අපේ පොදු නාමයක් බවට පත්වෙන්නේ team එකේ captain චරියා නිසා...ඔය නම කොච්චර දිවට හුරු වුනාද කියනවනම් අන්තිමට අපේ team එක #TeamBros , #Bromance  කියලා තමා FB comments දාන්න ගත්තේ...ඔතනින් දුෂා යනු වෙන්න ඩොකෙක් වන අතර යොහාන් යනු pharmacy ඩයල් එකකි..මමත් ලකාත් සිකියාත් හැරෙන්නට අන් සියල්ලෝම management facultyයේය..අපි තිදෙනා සයන්ස්කාරයෝය...

         මඩකළපුවට යන එන එක trip එකක් කර ගත්ත අපේ කට්ටිය බොංගො එකක් එහෙම ගෙනත් ඒකට තලන ගමන් සිංදු කියන්න පටන් ගත්තා...උදේ කෑම ගන්නකම් ලාවට ගියපු සිංදු ටික කෑමෙන් පස්සේ උපරිම තලයකට ආවා..උපරිමය තවත් වැඩි වුනේ girls boys team දෙක ගීතෙන් ගීතය කරන්න ගත්තට පස්සේ...කෝෂලී සහ විශ්මි ප්‍රමුඛ girls team එකෙන් එල්ල වුන ගීත අභියෝගය අපිට ජයගන්න පුළුවන් වුනේ නොපසුබස්නා උත්සාහයෙන් යුතු සුරේන්, කවීන්, යසස් අයියා සහ අපේ තුරුම්පුව වුන පුහුණුකාර චන්න සර් නිසා...ඒ අතරේ තමා අපේ සුරේන් විසින් මුල්ම රසබර සිද්ධිය සපයන්නේ...මම මුලිනුත් කිව්වානේ අපේ මූලික වචනේ වෙච්ච #Bro ගැන..සුරේන්ට යොහාන්ව අමතන්න ඕන වුන වෙලාවක Bro කියන එකේ අකුරු පොඩ්ඩක් වෙනස් උනා..."Yo Bro" කියලා කියන්න ගිය එක "Yo Bra" වෙලා කියවුනේ සුරේන්ට මොකක් වෙලාද කියලා නම් දන්නේ නෑ...ඒ වෙලාවේ බස් එක නිහඬ වීමත් මහ සද්දෙන් කියවීමත් නිසා සුරේන් සැහෙන අපහසුතාවයකට පත් වුනා කියලා නම් කියන්නම ඕන...ඒ අතරෙම යොහාන්ගේ සහ girls team එකේ කෙල්ලෙක්ගේ නම් එකතු කරලා සර් එක්ක එකතුවෙලා ගෙනියපු මඩ ප්‍රචාරණයත් සරුවටම ගියා...අතරින් පතර පොඩි ඇඩ් කෑලි දැම්මා වගේ ලකා සහ ලකාගේ හිත ගිය නංගි ගැනත්,චරියා සහ ලකා එක මලකට පෙම් කල සිද්ධි ගැනත් සිංදු කවි කියවුනා...

          මේ අතරේ ගමන ආරම්භයේ පටන් දුෂා අයියාගේ ක්‍රියා පිළිවෙත් නිසා සුරේන්ගේ මුවග රැදුණු වාක්‍යයක් තිබුණා..ඒ තමයි
 "උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ "
කියන වාක්‍යය..සුරේන් ඕක කියන හැම වාරයක් ගානෙම ගනන් කරන පුරුද්දක් මටයි ලකාටයි තිබුනා..කොහොම හරි පළවෙනි දවස ඉවර වෙද්දි සුරේන් ඇතුළුව අනිත් team membersලා විසින් උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ කියන වාක්‍යය 106.5 වතාවක් කියවිලා තිබුනා..ඔය 0.5 එකතු වෙන්නෙත් අමුතු විදියකට...එක වෙලාවක සුරේන් ඒ වාක්‍යය මේ විදියට මගින් නතර කරනවා..
"උඹ නම් දොස්තර කෙනෙක්... එක්කො ඕන නෑ..."කියලා :P

        ප.ලි. තාම අපේ ගමනේ එක දවසක්වත් ඉවර නෑ...ඒත් ලියන්න දේවල් සෑහෙන තරම්...ඒක නිසා අනික් සිද්ධි ටික තවත් කොටසක ලියන්න බලපොරොත්තු වෙනවා..කතාවට Enter වෙන්න අටුවා ටීකා ටිප්පනි සෑහෙන ලියන්න වුන නිසා මේ කොටසේ වැඩි යමක් නෑ කියලා හිතෙයි...ඒත් හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට කියලා අමතක කරන්න එපා..මේ කතාව ලියන එක මම චරියා Bro ට වුන පොරොන්දුවක්...ඒක නිසා දෙවන කොටසත් අද හෙටම ලියනවා..

එහෙනම් කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - II කොටසින් හමුවෙමු .......

Thursday, December 18, 2014

නිහඬ බව බිඳින්නට...

         අවුරුද්දකට විතර කිට්ටු කාලයක් මට කිසිම post එකක් Blog ගත කරන්න බැරිවුනා...ලියන්න බොහෝ දේවල් හිතේ තිබුනත් යම් යම් හේතූන් මත ලියන්න බැරි වුනා...

         සරසවි ජීවිතේ දෙවෙනි අවුරුද්ද පහු ගිය ටිකේ ගෙවපු මම තරමක් කාර්යය බහුල වුනා..අධ්‍යාපනය,බාහිර වැඩ වගේ හේතු නිසා මට එක පැත්තේ එන්න වෙලාව නැති වුනා..ඒ වුනාට අවුරුද්දේ අන්තිම වෙද්දි තමා තේරෙන්නේ "නටපු තොවිලෙකුත් නෑ...බෙරේ පලුවකුත් නෑ.. " කියලා...සරසවියේ ගෙවපු පලවෙනි අවුරුද්දට සාපේක්ෂව දෙවෙනි අවුරුද්දේ අපි ඉගෙන ගෙනත් නෑ...කැම්පස් ජීවිතේ විඳලත් නෑ..ගත්තු fun/ආතල් එකකුත් නෑ කියලා මේ වෙනකොට තේරුම් යනවා..ඒක නිසාම බොහෝවිට සරසවියේ අපි ගෙවන අවසන් වසරේවත් ඒ ජීවිතේ විඳින්න ඕනා කියලා දැනටමත් තීන්දු කරලා ඉවරයි...

        ඒ වගේමයි පහුගිය කාලයේම Blog එකට සම්බන්ධ මගේ e-mail ලිපිනය කෙනෙකුට free of charge කුලියට දීලා තිබුණා..ඒ පුද්ගලයාගේ පෞද්ගලික දේවල් e-mail ලිපිනය හා බැඳිලා තියෙන නිසා මම මේ ලිපිනය භාවිත නොකර හිටියා..නමුත් ඒක වෙනස් කරගන්න පාටක් නැති නිසා සහ මට ආයෙත් ලියන්න ඕනා නිසා මම ආයෙත් මේ e-mail ලිපිනය භාවිතයට ගත්තා..එහෙම භාවිතයට ගත්තත් ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානි කරන්න මට උවමනවක් නැති බවත් මම ලිපිනය භාවිත කරන්නේ Blog එක ලියන්න පමණක් බවත් කියන්න ඕනා..

       දැන් ආයේ මේ Blog එක දිගටම යාවත්කලීන කරගෙන යන්න ඕන කියලා හිතෙන නිසා අද ඉඳංවත් මාසෙකට post දෙකක්වත් ලියන්න ඕනා...තව කල් යවන්න යවන්න ලියන්න කම්මැලි වෙන බව තේරුන නිසාම තමයි මෙහෙම එකක් හරි ලියලා අදම වැඩ අල්ලනවා කියලා හිතා ගත්තේ...

එහෙනම් අලුත් post එකකින් ලඟදීම හමුවෙනකම් ඔබට ජය...!!!!

Tuesday, February 11, 2014

නිකමට ලියවුන පිළිතුරු කවිය...

            අද මූණු පොත පැත්තට ආවේ පුදුම කම්මැලිකමකින්..උණ හැදිලා එපා වෙලා වගේ හිටියේ..මූණු පොතට ඔලුව දාපු ගමන් දැක්කේ මගේ හිතාදර ලෙමන් මිත්‍රයා ලියපු කවි පන්තියක්...කරන්න ලොකු වැඩකුත් නැති එකේ නිකමට ලිව්වා ඒ කවි පන්තියටම පිළිතුරු කවි පන්තියක්...කාලෙකින් මොකුත් මේ පැත්තේ ලියන්න වුනේ නැති නිසා ඒක ලියන්න හිතුනා... 

මේ තියෙන්නේ මිත්‍රයාගේ කවිය...

තනිය...

පිදුව හාදුත් 
දෙතොල් උල්කර 
වියළුනා පෙම් 
තලාවේ.. 

කීව රහසුත් 
මගේ හිත යට 
ගැඹුරු කොන 
වැළලුනාවේ.. 

ලීව පෙම්පත් 
සමඟ මතකය 
සුළඟෙ පාවී 
ගියාවේ..

හීනෙකින්වත් 
ආයෙ එන්නට 
අපේ හිත් 
මැලිවුනාවේ..

පාළු හෙම්බත් 
මගේ ලෝකේ 
තනිය ඔහෙ 
රජවුනාවේ.. 

- චාන් © 2014

         මේ කවිය කොල්ලෙක්ගේ ඇසින් ලියලා තියෙන නිසා නිකමට වගේ පිළිතුරක් ලියන්න හිතුනා..පිළිතුරු කවියක් නිසා පද ටික ගලපගන්න ගන්න නම් එච්චර අමාරු වුනේ නෑ...

මේ තියෙන්නේ ඒ පිළිතුර...

දෙතොල් මැදිකර
පිදුව හාදුව
වියැලුනා නොව
වි‍යැලුවා...

කනට ලංකර
කීව රහසුත්
වැළලුනා නොව
වැළලුවා...

ඔබේ මතකය
සමග පෙම්පත්
පාවුනා නොව
පා කලා...

හීනෙකින්වත්
එකතුවන්නට
අපේ හිත් දෙක
මැලි වුනා...

සිනහ නොදකින
අඳුරු ලෝකෙක
අපේ ජීවිත
තනිවුනා...

Thursday, November 21, 2013

නොහැඟුනු හිත...

මැණික් පරයන නීල දෙනයන
නුහුරු බැල්මෙන් මහද කලඹන
සොඳුරු මොහොතකි මහද ගොලුවන...
පුංචි ඇස් දුටු විටදි නලවන...

අඳුර දිවියේ ගැලුව දුරලන...
සොඳුරු හීනෙක මෙමා සතපන...
කිමද අරුමය ඔබට නොහැඟෙන...
පුංචි රහසක් දෙතොල නොකියන....

පෙර කලෙක මග බැලූ දෙනුවන...
මග හරිමි දැන් නොදුටු විලසින...
අතහරිමි මම ලෝභ නොම ගෙන...
සිතින් පෙම්කල සිහින දෙවඟන... 

ප.ලි. සත්‍යයත් කල්පිතයත් අතර මැදිව ලියවුනකි...

Thursday, October 17, 2013

සිකියාගේ මංගල දැන්වීම....

දවස : 2013.10.15
වෙලාව : 22 : 16

අපේ සෙට් එකේ සිකියාගෙන් ( සිකි කියන්නේ නම...කාඩ් එක දමිත් හොඳේ.. ) මගේ ජංගමයට කෙටි පණිවිඩයක් එනවා මෙන්න මෙහෙම...
             චමාලිගෙ number එක එවපං දැන්ම...
මම number එක යැව්වට පස්සේ පොඩි msgs හුවමාරුවක් වෙනවා මෙහෙම....
     මම : මොකෝ සීන් එක...??? 
    සිකී : මොකෙක්ද මාව බයිටට අරන්...මගුල් දැන්වීමක් කියලා..
හිහි...මම හිනාවෙන්න පුලුවන් හැමතැනින්ම හිනා වෙන ගමන් ආයෙත් reply කලා...     
මොකක්...??? මොකක්ද උනේ කියහන්කෝ.... 
එහෙම ඇහුවට ඌ විස්තරේ නම් කිව්වේ නෑ...ඒ නොකිව්වයි කියලා මට නම් අවුලක් උනෙත් නෑ...මොකද ඒ සිද්ධියේ අල ගිය මුල ගිය තැන ඉඳං වැඩේ organize කලේ මම නිසා.... දැන් මේ දිග හැරෙන්නේ ඒ කතාවයි...

කැම්පස් එකේ දෙවෙනි semester එක පටන් අරන් ටික දවසක ඉඳංම අපේ සිකියට පොඩි මගුල් උණක් ගහලා තිබ්බා...කවුරු හරි කොක්කක් ගහලා ඉන්නවා දැක්කොත්  අපිට කියන්නේම 
අඩෝ ඉඳහංකෝ...මමත් ගහනවා කොක්කක්... (කටට ආවට කිව්වට ඕකේ තියෙන අමාරුව ඌ දැනන් හිටියා මගේ හිතේ...)

     මූ කොක්කක් ගහන්න කරලා එහම බැරි උනොත් පත්තරේ දැන්වීමක් දාලා හරි එකක් හොයාගන්නවා කියලයි කිය කිය හිටියේ...දැන්වීමේ දාන විස්තර ටිකත් අනේ මූ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම කියලා දැම්මා...ඔය කතාව මගේ කනට වැටුන වෙලේ ඉඳං මගේ හිතේ වැඩ කලේ කොහොමද මුට බයිටක් දෙන්නේ කියලා...ඔහොම හිත හිත හිටියා කියමුකෝ...

    ඒ අස්සේ මගේ යාලුවෙක් මේ ලඟදි පත්තරේ මංගල දැන්වීමක් දැම්ම විදියට උගේම විස්තර දාලා photo එකක් හදලා තිබුනා...අන්න ඒක දැක්ක ගමන් ඔලුවට අවා මොකක්ද හරියටම කරන්න ඕන කියලා... වැඩිපුර හිතන්න දෙයක් තිබ්බේ නෑ...විස්තර ටිකත් කියලම තිබ්බ නිසා මට තිබුනේ විස්තර ටික යාලුවට බාර දෙන්න විතරයි...ඒ අතරේ මෙදා සැරේ ලංකාදීපේ තිබුන මංගල දැන්වීම් ටිකක photo එකකුත් ගහලා mail කලේ වැඩේ තව හොඳට ගොඩ දාගන්න....මගේ යාලුවාගේ සහ මගේ උත්සහය මත කොහොම හරි photo එක තිතටම කරලා හදා ගත්තා....


ඔය තියෙන්නේ මංගල දැන්වීම... :D :D
    ඔය photo එක හදාගත්තට පස්සෙ facebook එකේ upload කරන්න කලින් මම ඕක යාලුවෝ දෙතුන් දෙනෙකුට පෙන්නුව...එතකොට තමා මේක ඇත්තටම පත්තරේ දාපු එකක් කියලා මිනිහට හිතෙන්න අපි කාට කාට හරි කියලා reply call දෙක තුනක් දෙමු කියන අදහස මතු උනේ...මෙච්චර කරපු එකේ එහෙම ආතල් එකක් තිබ්බේ නැත්නම් අර්ථයක් නැති වෙනවානේ...හැරෙන තැපෑලෙන් කට්ටියට දුන්නා msg එක...
මෙන්න advertisement එක...reply call එකක් විදියට කතා කරන්න...ඉරිදා ලංකාදීපෙ තිබ්බා කියන්න...අහුවෙන්න තියන්න එපා...කට්ටිය එක සැරේ කතා කරන්නත් එපා...

හා හා පුරා call කරලා තිබුනේ අපේ සැට් එකේ එරා...මූ ලෙසටම බය වෙලා වගේලු කතා කලේ...(ඒ call එක ගැන සම්පූර්ණ විස්තරේ අහගන්න බැරි උනා මේක ලියන වෙලාව වෙනකොට...) මොනවා උනත් එරා ගානට වැඩේ කරලා තිබ්බා...ඊට පස්සේ තමයි ලස්සනම call එක අරන තිබුනේ...ඒ එක සිත්ගෙන්...එකේ අන්තර්ගතය හරියටම නැති උනත් ටිකක් විතර මේ වගේලු... 
සිත් : Hello... මම මේ කතා කලේ පත්තරේ තිබුණ මංගල දැන්වීමකට...මට අවුරුදු 30යි...ඔයා මොකද කියන්නේ...
සිකි : Sorry....මම එහෙම එකක් දැම්මේ නෑ... මේ ඔයා මාව බයිට් කරන්නද කතා කරන්නේ...???
සිත් : නෑ අනේ...මම ඔයාව marry කරන්න කතා කලේ...
සිකි : මොන එකක්ද මේ...??? මම එහෙම එකක් දැම්මේ නෑ...
සිත් : දැම්මේ නැත්නම් මේ තියෙන්නේ...අනේ ඔයා මාව marry කරනවද..???
සිකි : බෑ...
සිත් : 
අනේ please....
සිකි : ^#$@#$*&%%^$#!#@

(සිත් තව එක සැරයක් හරි කතා කලා නම් සිකි පාරිභාශික වචන මාලාවෙන් අමතන්න ඉඳලා තියෙන්නේ...පස්සේ සිත් කියලා තියෙනවා කතා කලේ සිත් කියලා...
මම අපේ ලොකු අම්මගේ පුතාට සීන් එක කියලා තව call එකක් ගත්තා...ඒ සංවාදය මේ වගේ...
අපේ එකා : Hello, මම මේ කතා කරේ ලංකාදීපෙ තියෙන මංගල දැන්වීමකට...
සිකි : (බයෙන් වගේ) මම එහෙම එකක් දැම්මේ නෑ...වෙන කවුරුහරි වෙන්න ඇති...
අපේ එකා : මේ number එක නේ තියෙන්නේ...මේකයි මල්ලි සිද්ධිය...අපේ නංගිට තමා මගුල හොයන්නේ...එයාට පොඩි වරදක් වෙලා තියෙනවා...ඔයා වරදට සමාව දෙනවා කියලා දාලා තියෙනවානේ...
සිකි : නෑ අයියේ...මම එහෙම එකක් දැම්මේ නෑ...ඔය කොහෙන්ද කතා කරන්නේ..???
අපේ එකා : එහෙනම් මේ විස්තර තියෙන්නේ...අවුරුදු 21යි..කොට්ටවේ ඉන්නේ... * ******** කැම්පස් එකේ උපාධි අපේක්ෂිතයෙක් කියලා...මම ඇත්තිලිගොඩින්...
සිකි : නෑ...ඒ මම නෙවෙයි...වෙන කවුරුහරි දාන්න ඇත්තේ...
අපේ එකා : ආහ්හ් එහෙමද....ඔය නෙවෙයි නම් කතා කරලා වැඩක් නෑනේ...මම තියන්නම්
කොහොම හරි මේ ඔක්කොම call එන අස්සේ මම photo එක සිකියගේ facebook තාප්පේ (wall) අලවලා අපේ සැට් එකේ group එකෙත් දැම්මා...රෑ වෙලා මූ chat එකට එනවා...මෙන්න ඒ chat එක...






අන්තිමේ මූ phone එක answer නොකිරීම නිසා අපිට ගන්න තිබුන calls තුනක් වගේ ගන්න වුනේ නෑ....කොහොම හරි අද කැම්පස් ගියාම මුට ඔක්කොම පැහැදිලි කරල කියලා දුන්නා අපි පොඩි බයිට් එකක් දුන්නේ කියලා...මොකද මූ number එක මාරු කරන සීන් එකක් තිබුන නිසා...කොහොම හරි අන්තිමේ කට්ටියට හිනා වෙන්න සෑහෙන්න කරුණු කාරණා ටිකක් ඉතිරි කරලා ඒ බයිට් එක නිමා වුනා...

පසුවදන...
මේ photo එක අපේ සැට් එකේ group එකේ දාලා සිකියව විනාස කරන්න තිබ්බ අවස්තාව බන්ටියා විසින් කුඩුපට්ටම් කරලා දැම්මා කිව්වොත් වැරදි නෑ...බන්ටියාද රචනාවක් ලිව හැකි ජාතියේ චරිතයකි...ඔහු ගැන කල හැකි කෙටිම හැඳින්වීම නම් "සැතපුම් ගණනාවක් වුවද ඈත ඇති අසූචි ගොඩක් බලෙන් ඉල්ලන් හත්පොලේ ගාගන්නා චරිතයක්" ලෙසය...

Thursday, September 26, 2013

නිදි නැති දේශනයක්...

ප්‍රමාදව ඇහැරුණු කලට
කඩි මුඩියේ හැඳ පැළඳගෙන
දේශනවලට අත්සන ගසන්නට
දිව ආවා සරසවි භූමියට

පමාවී පැමිණි වරදට
අහිමි වුනා සුපුරුදු පෝලිමම
ඉදිරිපෙලට ඇති අකමැත්තට
තැග් ගැහුනා පිටුපස පෝලිමක

නියමිත කලට පැමින ඔඩියට
සීදේවිය ඇරඹුවා ඒකජ වීජය
පසුපෙළ ළමුන් වැඩියැයි සිතුනෙන් ඇයට
ගත්තා නොවෙද අපි සෙට් එක ඉදිරියට

හැඳි කමිසය අලවමින් පිටට
ගතෙහි වගුරමින් දහදිය හොඳට
අවසිහියෙන් වගේ හුන් තැනෙනුත් නැගිට
මතකයි ගියා අපි කට්ටිය ඉදිරියට

පෙර කිසි දිනක සිදු නොවූ ලෙසට
නිදි නැති දේශනයක් ගෙවුනි එලෙසට
පසුපස පේළියෙන් නියමිත බිහිවන්ට
බුද්ධිමතෙකු නැති වූයේ එතැන් සිට

සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද අසංෂිප්ත පැදි කීපයකි..

Sunday, September 15, 2013

අපේ පළමු පොත් සල්පිල් (දන්සැල්) වන්දනාව...

           ඊයේ කොළඹ පොත් සල්පිල ආරම්භ වුනා.....අපායට ගියත් මුලින්ම යන්න ඕන කියන නිසා මමත් ඊයෙම ගියා ඒ පැත්තට ඔලුව දාල එන්න... මේ සැරේ නම් ගියේ පොත් දෙක තුනක් මිල දීලම ගන්නවා කියල හිතාගෙන...(කලින් ගියපු වතාවල් වල පොත් ගත්තේ කොහොමද කියල තේරෙනවා ඇතිනේ...) කොහොම හරි මෙදා සැරේ පොත් පහක් විතර මිලදී ගත්තා...මුලින්ම ඒක පුද්ගල ලෙස පොත් අරගෙන ඉවර වෙලා අන්තිමට දුලියත් එක්ක හවුල් සමාගමක් දාලත් පොත් ගත්තා...කොහොම උනත් මේ post එක ලියවෙන්නේ මෙදා සැරේ පොත් සල්පිල වෙනුවෙන් නම් නෙවෙයි...2007 අවුරුද්දේ පොත් සල්පිලට ගිය ගමන ගැන...


මේ සැරේ මිල දීලම ගත්ත පොත්...
           2007 අවුරුද්ද කියන්නේ අපි සා/පෙ ලියන අවුරුද්ද...ඒ කාලේ අපේ කට්ටිය පන්තියේ හැඳින්වුනේ Dancing කල්ලිය කියලා...(ඒ අපි set එක නර්තන කවයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කරපු නිසා...) දවස ගැන කියනවානම් සැප්තැම්බර් 13 හෝ 20...(බ්‍රහස්පතින්දා දවසක් කියලා විතරයි මතක..) ඒ කාලේ දින වකවානු මතක කට්ටියට මතක ඇති ඔය දවස් දෙකෙන් එකක ගුරුවරුන්ගේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් තිබුනා...ඒක වෙස් වලාගත් ආශිර්වාදයක් කර ගත්ත අපේ set එකගුරුවරුන්ගේ වැඩ වර්ජනේ අසාර්ථක වෙන්නත් එක්ක කියලා Book Fair යන්න කතා කරගත්තා...Book Fair විතරක්ම නෙවෙයි...හරියටම කිව්වොත් ඒ දවස් වල film hall වල පෙන්නපු සිකුරු හතේ චිත්‍රපටියත් බලලා ඊට පස්සේ Book Fair යන්න...

           කොහොමහරි එදා දවසේ උදේ 9ට විතර අපේ කට්ටිය සෙට් උනා...හිටපු කට්ටිය කියනවානම් මම, කාංචන, තිමිත, ළහිරු, ප්‍රභාත්, පසන් සහ සචිත්...(තව කට්ටිය ආවද කියලානම් මතක නෑ...ඇවිත් නම නැති අය මට සමාවේවා.. :D ).රාජගිරියේ ඉම්පාලා hall එකට ගිහින් අපේ කට්ටිය හරි බරි ගැහිලා 10.30 දර්ශනේ බලන්න ඉඳගත්තා...දවසේ පලවෙනි දර්ශනේ නිසාද මංදා වැඩි සෙනගක් නම් හිටියේ නෑ...අපි කට්ටිය නැතුව හිටපු ප්‍රේක්ෂකයන්ගෙන් බහුතරයක් තරුණ ජෝඩු බව නම් කියන්න ඕනා... ;)
film එක පටන් ගන්න කලින් ඊළඟට එන්න තියෙන film වල trailers එහෙම පෙන්නනවානේ...මේකෙත් එහෙම trailers දෙකක්ම පෙන්නුවා...ඒ "ආසයි මං පියාඹන්න" සහ "ලීඩර්" කියන film දෙකේ trailers..
trailers දෙකම බලලා ඉවර වෙලා අපේ එකෙක් මෙහෙම කියනවා...

"මචං...උඹලට හිතෙන්නේ නැද්ද නිකං film දෙකේ trailers දෙක මාරු වෙලා වගේ කියලා...ඇයි බං අර "ලීඩර්" කියලා පෙන්නපු trailer එකේනේ වැඩිහරියක් ඉගිල්ලෙන සීන් තියෙන්නේ..."

            ඒක අහපු අපේ කට්ටියට විතරක් නෙමේ පිටිපස්සේ හිටපු කට්ටියත් හිනාගියා...එතනින් ඉල ඇදෙන්නම හිනාවෙන්න පටන් ගත්ත් අපි හිනාව නැවත්තුවේ film එකේ අවසානයත් එක්කම තමා...

           එතනින් පිටත් උන අපි BMICH එකට ඇවිත් පොත් සල්පිලේ පොත් නරඹන්න ගත්තා...ඒ කාලේ අපිට සා/පෙ නිසා අපේ දෙතුන් දෙනෙක් ප්‍රශ්නෝත්තර පොත් කීපයක් මිලදීගත්තා...ඔන්න එතනින් එහාට තමයි අපේ සෙට් එකට දන්සැල් මාර්ගයෙන් පොත් ලැබෙන්න ගත්තේ...දන්සැල් වැන්දේ කොහොමද කියන එක කියන එක හරි නෑනේ..ඒ දවස් වල ඒ වගේ දන්සැල් වැඩ හොඳහැටි පුරුදු නිසා කිසි ගාණක් නැතුව වැඩේ ගියා...
ඒ අස්සේ ලහිරුවයි සචිතයයි සල්ලි දීලා ගත්ත පොඩි පොත් දෙකක් දන්සැලෙන් ගත්ත කියලා බර බරයක් ආවා...ඒත් ඒ පොත් වල බිල් පෙන්නලා වැඩේ ශේප් කර ගත්තා... 
එතැනින් දන්සැල් වැඳිල්ල අහවර කරපු අපි එලියට ඇවිත් පොඩි පසුවිපරමක යෙදුනා...කොහොම නමුත් කාටවත් දන්සැල් වැඳිල්ලෙන් පාඩුවක්වත් හානියක්වත් වෙලා තිබුනේ නෑ...

මේ මගේ පසු විපරුම් සටහන.....

මිලදී ගත් පොත් : 
              අභිරහස් දොස්තර - ෂර්ලොක් හෝම්ස් (කියෙව්වට පස්සේ හිතුනා අපරාදේ මිලදී ගත්තේ කියලා...)

දන්සැලෙන් ලැබුනු පොත් : 
              ලෝහිත පරීක්ෂණය
              මළගිය ඇත්තෝ සාක්කි දෙති
              කළු ව්‍යාග්‍රයා
              බිහිසුණු නිම්නය
              නර්තනය (10-11 ශ්‍රේණි)
              භූ ගෝලය
              ඉලෙක්ට්‍රොනික විද්‍යාව

පසු සටහන:
මේ post එක ලියැවුනේ මීට අවුරුදු හයකට කලින් අපි ගෙවපු කෙළිලොල් ජීවිතේ තවත් එක දඟකාරකමක් සැමදා මතකයේ තියාගන්න විතරයි...
කොහොම උනත් දන්සැල් වැඳපු එකේ අනිටු ඵල මට ලැබෙන්න වැඩිකල් ගියේ නෑ...සා/පෙ ප්‍රතිඵල එනකොටම ඒවා ලැබුනා...ඒ නර්තනයට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට "බී" සාමර්ථ ලෙස...(ඒ අස්සේම දන්සැලෙන් ලැබුනු භූ ගෝලයට "ඒ" සාමර්ථයක් හා මාත් එක්කම එකට නර්තනය පොත දන්සැලෙන් ගත්ත කාංචනයට නර්තනයට ලකුණු 98ක් ලැබුනේ කොහොමද කියන්න එක පව් පින් අනුව පැහදිලි කරන්න නම් නොතේරෙයි...)

Wednesday, August 1, 2012

රැකියාවට මාස හයයි...

          අද අගෝස්තු පළවෙනිදා....ඒ කියන්නේ  අදට මම රස්සාවකට ගිහින් මාස හයක් වෙනවා....ඒ මාස හය පුරාවට රස්සාව නිසා මම සෑහෙන දෙයක් ජීවිතේට එකතු කර ගත්තා....වෙනස්ම ආකාරයේ අත්දැකීම් ගොඩකුත් ජීවිතේට එකතු වුනා...
          රට වටේ රවුම් ගගහා හිටපු මාව අපෙ තාත්තා රස්සාවකට පංගරාත්තු කලේ රස්සාව නිසාවත් මම එක තැනකට වෙලා ඉඳී කියල හිතලා වෙන්න ඇති....ඒත් මට ලැබුණු රස්සාව මටම ගැලපෙන රස්සාවක්...සම්මුඛ පරීක්ෂණයෙදිත් මුලින්ම ඇහුවේ.... 

මේකෙදි ලංකාව වටේම යන්න වෙනවා...දවස් තුන, හතර එක දිගට ගෙදරින් පිට ඉන්න වෙනවා...ඒකට කැමතිද??? කියලා...
          ඉබ්බා දියට දැම්මහම ඇන්නෑවේ කියන්නා සේ මමත් ගත්කටටම හා කිව්වා... 


          මේ රස්සාව නිසා මම ජීවිතේ කියනදේ කොච්චර අස්ථිරද කියලා තේරුම් ගත්තා...දවස් ගණන්, මාස ගණන් වයස පොඩි ළමයි මැරෙන හැටි දැක්කා...අවුරුදු එකොළහක පොඩි එකෙක්ගේ හුස්ම යන හැටි දැක්කා...ඒ වගේමයි පණ යන්න ඔන්න මෙන්න ඉන්න ලෙඩ්ඩු වෛද්‍ය සේවයට හා හෙද සේවයට පිං සිද්ද වෙන්න ආයෙත් ගොඩ යන විදිහ දැක්කා...ඒ වගේමයි අවුරුද්දකට කිට්ටු කාලයක් එක දිගට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙකුත් දැක්කා.....
        ඒ වගේමයි මෙතෙක් කල් පය නොතියා තිබුනු දිස්ත්‍රික්ක කීපයක ඇවිදලා මගේ විනෝදාංශය වන ඡායාරූපකරයේ යෙදෙන්නත් අවස්ථාව උදා වුනා...( හෙහේ.... කොටින්ම කිව්වොත් කෑමට පෙර අත් හෝදන්නත් පුරුදු වුනේ මේ රස්සාව නිසා... )
         
       අවුරුදු විස්සක කොල්ලෙක් විදියට මම් මේ රැකියාව ගැන බොහෝම තෘප්තිමත්...මම මේ රස්සාව නිසා ජීවිතේ විඳිනවා කියලා මට හිතෙනවා...ඇත්තම කිව්වොත් මම මේ රස්සාව හඳුන්වන්නේ සංචාරකයෙකුට ලැබුණු සංචාරක රැකියාවක් හැටියට....

Monday, June 18, 2012

දෙගිඩියාවකට ලක්වූ මගේ ප්‍රේමය...



අපොයි...
මගේ හිත දෙගිඩියාවකට ලක්වෙලා...මට හිතාගන්න බෑ මේ වගේ අවස්ථාවක මම මොකක්ද කරන්න ඕන කියලා...මේ වෙනකොට මගේ හිත ඇතුලේ මම පුංචි සන්ධියේ ඉඳන් බැඳි ප්‍රේමය හා මීට මාස 4 5කට කලින් හිතේ හටගත් ප්‍රේමයක් අතර ඝට්ටනයක් ඇති වෙලා...මට මේ එකක්වත් අතාරින්න කැමත්තකුත් නෑ....ඒත් මේ දෙකම එකට කරගෙන යන්න අමාරුයි....

ආහ්හ්...කියන්න අමතක වුනා....මෙතන ප්‍රේමයක් කියලා මම අදහස් කලේ සමාන්‍යයෙන් හැමෝම අදහස් කරන එකිනෙකා කෙරෙහි ඇතිවන ගතානුගතික ප්‍රේමයක් නම් නෙවෙයි....මේ ප්‍රේමය එක්තරා සිහිනයකට බැඳි ප්‍රේමයක් කිව්වොත් වඩා නිවැරදියි...ඔය වල් පල් ඔනේ නෑ...කතාව මම කෙටියෙන් කියලා දාන්නම්...

පොඩි කාලේ ඉඳලම මගේ එකම සිහිනය වුනේ ඉංජිනේරුවෙක් වෙන්න....එහෙම සිහිනයක් ඇති වෙන්නත් හේතු වුනේ 'ගණිතය' කියන විෂයට පොඩි කාලේ ඉඳලම තිබුන මගේ කැමත්ත....මට අද වගේ මතකයි මම තාත්තාගෙන් ඇහුවා...
තාත්තේ...Maths කරලා කවුරුද වෙන්න පුලුවන්..???     කියලා...
එදා තාත්තා දුන්නු උත්තරෙත් එක්ක මම ඒ ඉංජිනේරු සිහිනයට පෙම් බඳින්න පටන් ගත්තා....ඒ කාලෙ ඉඳලම මම වැඩි කැමත්තක් දැක්වුවේ සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න...මොකද කියනවානම් මම ඉංජිනේරු හිස්වැස්මට සෑහෙන්න ආසා කලා...ඒක නිසා ඒ සිහිනය සිවිල් ඉංජිනේරු සිහිනයක් කියලා කියන්න පුලුවන්...ඒත් පසු කාලීනව මගේ අතින් වුන අතපසුවීම් නිසා ඒ සිහිනය සෑහෙන දුරට බිඳිලා ගිය කියලා කියන්න පුලුවන්...ඒත් මගේ වාසනාවකට ඒ අතපසුවීම යන්තමින් හරි හදාගන්න මට දැන් අවස්තාවක් ලැබිලා තියෙනවා....දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අවස්ථාව මම ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක ගැනයි...


දැන් තමයි මගේ පලමු ප්‍රේමය සමග ඝට්ටනය වෙන දෙවන ප්‍රේමය කල එලි බහින්නේ...ඒ කතාව මෙන්න මෙහෙමයි....

මීට මාස හතරකට පහකට කලින් ගෙදර ඉන්න කම්මැලිකමට පොඩි රස්සාවක් කරන්න පටන් ගත්තා...ඒ රස්සාව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සම්බන්ධ එකක්....ඒ පොඩි රස්සාව මගේ ජීවිතේට කොච්චරම ගැලපුනාද කියනවනම් මට දැන් හිතෙනවා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් වෙන්න තියෙනවා නම් කියලා....දැන් මට හිතා ගන්න බෑ මම මොකක් තෝරගන්නද කියලා...

මේකත් හරියට සමහර හින්දි චිත්‍රපටිවල තියෙන ජවනිකාවක් වගේ...හරියටම කියනවනම් තමන්ගේ හිත ගිය කෙල්ලව යාළු කර ගන්න කෙල්ලගෙ යාළුවාගෙන් උදව් ගන්න ගිහින් අන්තිමට කැරකිලා කෙල්ලගෙ යාළුවාවම සෙට් වුනා වගේ වැඩක් තමා මේකත්...

මොනවා වුනත් මට හිතෙන්නේ මේකට උත්තරේ කාලයා විසින්ම සපයයි කියලා...එතකන් මට තියෙන්නේ බලන් ඉන්න තමා....කොහොම හරි අන්තිමට හොඳ දෙයක් වෙන්නේ නැතෑ...

ප.ලි. Blog අවකාශයට ආධුනිකයෙක් වෙන මට මේ වගේ post එකක් Blog ගත කිරීමේ ගැලපීම නොගැලපීම ගැන කියන්න අමාරුයි...ඒත් මගේ හිත ඇතුලේ මේක දරාගෙන ඉන්න අමාරු නිසා මේ විදියටවත් මුදාහරින එක හොඳයි කියලා මට හිතුනා...


Sunday, May 13, 2012

මොටෝ-සයිකල් මාරුව...


පෙරවදන...
මම මගේ බ්ලොග් එකේ පලවෙනි post 1 දැම්මට පස්සේ ඕං අද තමා post 1ක් දාන්නේ...මෙච්චරකල් post 1ක් දාන්න හේතුවක් නැතුව හිටපු මට අද හේතුවක් හම්බ උනා...(මේක හුදෙක් මඩ ප්‍රහාරයක් ලෙස නම් සලකන්න එපා...මොකද මම අවසර ගත යුතු සියල්ලන්ගෙන්ම අවසර අරගෙන තමා මේ post 1 දාන්නේ....)

අවුරුදු පහු වෙලා දැන් මාසයක් පහු උනාට මොකද තාම අවුරුදු උත්සව නම් ඉවර නෑ...ඒක නිසා ලංකාවෙ තියෙන සිරාම, ආතල්ම සංගමයක අවුරුදු උත්සවේත් අද පැවත්වුනා...ඒකේදි කෙලපු බුල රාශියක් අතරින් කෙලපු හොඳම බුල ගැන තමයි මේ කියන්න හදන්නේ...ඒ බුල කෙලිලේ සැර කොහොමද කියනවනම් අන්තිමට පොලීසි ගිහින් තමා වඩේ නතර උනේ...කොහොමින් කොහොම හරි සංගමයේ ඉතිහාසගතම විදිල්ල ලෙස ඒ විදිල්ල නිතරඟයෙන්ම තේරී පත්වෙච්ච විත්තියත් මුලින්ම කියන්න ඕනා...

උදේ 9ට පටන් ගන්නව කියල 10ට පටන් ගත්ත මේ අවුරුදු උත්සවේ දවස පුරාම සිනහවෙන් සපිරිව දැහැමෙන් සෙමින් ගලාගෙන ගියා කිව්වොත් නිවැරදියි..ඒ අතරේ පුංචි පුංචි රසබර සිද්ධිත් නොවුනාම නෙවෙයි...ඒත් මේ සිද්ධිය එක්ක සසඳල බලන කොට ඒව බාලාංශ සීන් වගේ...අනික මේ අවුරුදු උත්සවේ දකින්න තිබුන තවත් අමුත්තක් තමා ජීවිතේට සරම් නොඇඳපු (එහෙම කට්ටිය හිටියෙ ටික දෙනයි..) අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ සරම් ඇඳගෙන තරඟ වලට සහභාගී වෙච්ච එක.....
දවස පුරාම කිසිම කම්මැලිකමකින් තොරව ගාලගෙන ගියපු මේ අවුරුදු උත්සවේ කෙමෙන් කෙමෙන් අවසානය කරා ලඟා උනා...ඒ සංගමේට අදාළ මව් ශඛාවේ කොළඹ දිස්ත්‍රික්කේ  ඉහළම නිළධාරියෙක්ගේ සහභාගීත්වයෙන් අවුරුදු උත්සවේ ත්‍යාග ප්‍රධානෝත්සවෙත් යස අපූරුවට සිද්ධ උනා...

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියල කියන්නේ නිකන් කට කහනවට නෙවෙයිනේ...දැන් සියල්ලෝම තම තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත්ව යන්න සූදානම...නුවර, කුරුණෑගල වගේ දුර බැහරින් සහභාගී වෙච්ච සාමාජික සාමාජිකාවන් පිටත් වෙලා ගියාට පස්සේ ඉතුරු උනේ කොළඹ,ගම්පහ දිස්ස්ත්‍රික්ක වල කට්ටිය විතරයි...දැන් ගම්පහ කට්ටියත් පිටත් වෙන්න සූදානම...ඒ උනත් එතන පොඩි අවුලක් වගේ...මමත් ගිහින් ඔලුව දාල බැලුව මොකද වෙලා තියෙන්නේ කියලා...අපේ සංගමේ "රන් කුඹලා" (ඔය 'රන් කුඹලා' කියන නම හැදුන විදියත් ඊළඟ post එකකින් බලාපොරොත්තුවන්න..) මොටෝ සයිකලේක යතුරක් අතේ තියාගෙන හතර අතේ කැරකෙනවා....කට්ටියම අහල බැලුවා මොකෝ සිද්ධිය කියලා...
"මචං...මගේ බයික් එකේ යතුර තියෙනවා...ඒත් බයික් එක නෑනේ...තව එකක්...මෙතන අයිතිකාරයෙක් නැති බයික් එකකුත් තියෙනව...මගේ යතුරෙන් ඒක ස්ටාර්ට් කරන්නත් පුලුවන්...එතකොට මගේ බයික් එකට මොකක්ද උනේ???"

"හතිලව්වයි....මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ..."
ඒක අහපු මට නම් හිතුනෙ එහෙමයි.... ඊට පස්සෙ කට්ටිය පටන් ගත්ත 'රන් කුඹල'ගෙ මොටෝ සයිකලේ හොයන්න... අපි මුලින්ම හිතුවා කාගෙ හරි මොටෝ සයිකලයක් එක්ක මාරු වෙල තමා කියලා..ඒක නිසා මොටෝ සයිකල් වලින් ආපු හැම එකාටම දීල බැලුවා...එහෙම මාරු වෙලත් නෑ...ඊට පස්සෙ නම් හිතුනේ මොකෙක් හරි පිට එකෙක් පන්සිල් වලින් දෙවෙනි සිල් පදේ කඩල තමා කියල.. ඒක නිසා කෝකටත් කියලා 119ට කතා කරල වෙල තියෙන සංතෑසිය අකුරක් අඩු නැතුව කිව්වා...
අප්පට සිරි...ඊට පස්සේ අවේ නැතැයි පොලීසියෙන් ජීප් 1ක්...ඇවිත් මොටෝ සයිකලේ විස්තර එහෙම අහල අදාල තැන් වලට දැනුම් දුන්නා...ඕන් ටික වෙලාවකට පස්සේ මොටෝ සයිකලේ ගැන ආරංචියක් ලැබුනා...මොටෝ සයිකලේ වැල්ලවත්ත පොලීසියෙලු... ඒක ඇහුව විතරයි සියල්ලෝම තම තමන්ගේ නිගමන ඉදිරිපත් කරන්න ගත්තා...  ඕං  ඔය වෙලාවේ තමා බළල මල්ලෙන් එලියට පැන්නේ...

වෙන්න පුලුවන් සිද්ධිය ගැන නිවැරදිම අර්ථකතනය ඉදිරිපත් කලේ කිරිඳිවැල පැත්තේ හාදයෙක්...මිනිහගෙ නිගමනේට අනුව මේ විදිල්ල විදල තියෙන්නේ අවුරුදු උත්සවේ ප්‍රධාන සංවිධායකතුමා....සංවිධායකතුමා දවල් වරුවේ රන් කුඹලගේ මොටෝ සයිකලෙන් වැල්ලවත්තට ගිහින් තියෙනවා අවුරුදු උත්සවේ වැඩකට...එතනදි සංවිධායකතුමා අතින් කුමන හෝ හේතුවක් මත මොටෝ සයිකලේ මාරු වෙලා තියෙනවා...සංවිධායකතුමාගෙ මොකක් හෝ කරුමෙකට  කුඹලගෙ යතුරෙන් අර මොටෝ සයිකලේ ස්ටාර්ට් වෙලත් තියෙනව...

ඒත් දෙයියනේ  මනුස්සයෙක්තමන් ගියපු මොටෝ සයිකලේ මොකක්ද කියල අමතක වෙන්න පුලුවන්ද??
අනික ඒ යතුරෙන්ම ස්ටාර්ට් කරන්න පුලුවන් මොටෝ සයිකලයක් එතනම තිබුනේ කොහොමද???

 ඔය ප්‍රශ්න දෙකට මට නම් උත්තරයක් හිතාගන්න අමාරුයි....කොහොම හරි අන්තිමට වැල්ලවත්ත පොලීසියෙ පැයක් විතර කට්ට කාල මොටෝ සයිකලේ බේරගෙන 'රන් කුඹල'ව ගෙදර පිටත් කලා....මිනිහ ගෙදර ගියාද නැත්ද කියල මට මේ වෙනකම් නම් ආරංචියක් අවේ නෑ...ඒත් පරිස්සමින් යන්න ඇති කියල හිතනවා...



ප.ලි.. ඔය ඡ්යාරූපයේ මොටෝ සයිකලේ ඉස්සරහින් ඉන්නේ 'රන් කුඹලා' බවද...පිටිපස්සෙන් ඉන්නේ දවසේ රොබින් හුඩ් හෙවත් ප්‍රධාන සංවිධායකතුමා බවද....ඡ්යාරූපයේ දැක්වෙනුයේ සංවිධායකතුමා විසින් පැහරගන්නා ලද මොටෝ සයිකලය බවද සලකන්න... 
මේ කතාව ලියනකොට ඒ අවස්ථාවේ සිදුවූ සියල්ල ඒ අයුරින්ම blog ගත කිරීට නොහැකි වූ බව ප්‍රකාශ කිරීමට කැමත්තෙමි...එනමුත් කතාවට තාර බැර එකතු කිරීමකින් තොරව හැකි උපරිමෙන් රස වින්දනයට බාධාවක් නොවන ලෙස කතාව ඉදිරිපත් කිරීමට යත්ත දැරුවෙමි...

Sunday, March 11, 2012

මගේ ආගමනය....

ඔන්න හා හා පුරා කියලා මමත් Blog 1ක් ලියන්න පටන් ගත්තා... :)


මාස 4ක් 5ක් තිස්සේ හිත ඇතුලේ කැලැති කැලැති  මේ අදහස තිබුනට අද වෙනකම් පස්ස ගැහුවෙ 1st Blog post 1 විදියට මොකක් ගැන ලියනවද කියල මට හිතාගන්න බැරි වෙච්ච නිසා...ඇත්තම කිව්වොත් මට අද වෙනකොටවත් ඒ ගැන නම් හිතාගන්න බෑ....ඒක වෙනම කතාවක්... ;)


මේ Blog 1 ඉස්සරහට මොන විදියට ගලා ගෙන යයිද කියන්න මම නම් දන්නේ නෑ...Bt මම හිතනව මේක දිගටම කරගෙන යන්න මට පුලුවන් වේවි කියලා...කොහොම උනත් මාව Blog කලාවට යොමු කරපු EnigmAලියන Charitha අයියට බොහෝම ස්තූතියි...


ප.ලි. මල ජංජාලයයි... මම දැන් තමයි දැක්කේ මම Blog එකේ profil 1ක් හදාගෙන මාස 18 වෙනව කියල....හික්ස්...