Sunday, July 5, 2015

කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - II කොටස

කලින් පෝස්ට් එක ලියද්දි හෙට අනිද්දාම අනික ලියන්නම් කිව්වට ඒ ගැම්මටම ලියන්න වෙලාවක් සෙට් වුනේ නෑ..අද චරියා bro සහ දුෂා broම මතක් කරලා " කෝ අනික??? " කියලා අහද්දි තමා ආයෙත් ලියන්න කික් එකක් ආවේ...කලින් පෝස්ට් එක කියෙව්වේ නැත්නම්
කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - I කොටස.... 
මෙන්න තියෙනවා ගිහින් කියවන්න පුලුවන්...

            එදා ලිව්වේ බස් එකේ යන වෙලාවේ වුන සිද්ධි නේ..කොහොම හරි අපි කරදරයක් නැතුව දවල් එක විතර වෙද්දි මඩකලපුවට ලඟා වුනා...යසස් අයියත් ලකාත් technical meeting  යන්න දෙක වෙද්දි පිටත් වුන නිසා හතරට Opening Ceremony යන්න අපි හොස්ටල් එකට වෙලා wash එකක් දාගෙන හිටියා..හොස්ටල් ගැන කියද්දි නම් අනිවාර්යෙන් කියන්න ඕනා හොස්ටල් ටික නම් හදලා තියෙනවා සුපිරියට...එක කාමරේට හතර දෙනා ගානේ වෙන්න 12 දෙනාට කාමර තුනයි...මමයි සිකියයි කවීනුයි යොහනුයි එකක...ලකා යසස් අයියා සුරේන් දුෂා තව එකක...චරියා නුවා ධනා අවින් අනිත් හතර දෙනා අනික් කාමරේ...කොහොම හරි wash දාගෙන කාල බීලා Opening Ceremony යන්න බලන් ඉන්නකොට හවසට Ceremony එක ඉවර වෙලා පාසිකුඩා beach එක පැත්තේ රවුමක් දාලා එන්න යන්න අදහසක් ආවා..කට්ටිය ඒකටත් හරි යන්න කොට කලිසම් තුවා සෙරෙප්පු එහෙම බෑග් වල දාගෙන එලියට බැස්සා..ලොකු සිද්ධියක් නැතුවම අපි Opening Ceremony එකටත් හිටියා...එකේදි අපි මුහුණ දීපු ලොකුම ප්‍රශ්නේ වුනේ පෝලිමේ ඉස්සරහින්ම ඉන්න කෙනෙක් හොයාගන්න එක..කොහොමහරි අන්තිමේ එක එක පිලිවෙලට පෝළිම හදලා සුරේන්ව ඉස්සරහට දාගත්තා...(ඉස්සරහ හිටපු නිසා සුරේන්ට පහන පත්තු කරන්නත් යන්න වුනා..කලබල වෙලා හිටිය නිසාද මංදා සුරේන්ට පහන පත්තු කර ගන්නත් තරමක ගේමක් දෙන්න වුනා..)

            Ceremony එක ඉවර වෙලා අපි ගියේ St Michael's College court එකට...එතන පේරා vs රුහුණ මැච් එක...ඒකත් ඉවර වෙනක්ම් බලන් හිටපු අපි එතනින් එළියට බැස්සා..කොහොම හරි අපි එතනින් එද්දි රෑ වෙලා වැඩියි..මේ රෑ ජාමේ මොන beachද කියලා කට්ටිය හිත හදාගෙන ආයේ හොස්ටල් එකට යන්න බස් එකට නැග්ගා..අපේ බස් එකට නැගලා බලන කොට පොඩි අවුලක්..දුෂා අරගෙන ආපු සෙරෙප්පු බෑග් එක missing...සුරේන්ගේ සෙරෙප්පු දෙකත් ඒක ඇතුලේ..ඒක කොහොම missing වුනාද කියන්න කාටවත් තේරුණේ නෑ..ඒ සෙරෙප්පු වලට වෙච්ච දේ හරියට දැනගන්න ලැබෙන්නේ අපි tournament එක ඉවර වෙලා ගෙදර එන දවසේ..  බෑග් එක නැතිකරපු දුෂා විසින්ම අයේ කොහොම හරි ඔය බෑග් එක හොයා ගන්නවා.. වෙන කොහෙන්වත් නෙවෙයි...එයාලගේ කාමරේම මේසේ උඩ තිබිලා...හොයලා බැලුවාම සිද්ධිය මේකයි..දුෂා සෙරෙප්පු ගෙනියන්න බෑග් එකට දාගත්තත් ඒ බෑග් එක මේසේ උඩ අමතක වෙලා දාල ගිහින්...වැඩේ කියන්නේ කාමරේම සෙරෙප්පු තියාගෙන tournament ගිය දවසේ ඉඳන් එන දවස වෙනකම්ම දවස් 4ක් දුෂායි සුරේනුයි සෙරෙප්පු නැතිව හිටපු එක...සෙරෙප්පු හොයාගත්ත වෙලාවෙත් සුරේන්ගේ කටින් අර සුපුරුදු වාක්‍යය එළියට එන්න වැඩි වෙලා ගියේ නෑ...
 "උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ "
            කොහොම හරි එදා රෑ කට්ටිය පහුවෙනිදට තියෙන මැච් වලට ලෑස්ති වෙලා එහෙම කලින්ම නිදා ගත්තා...කීය වෙනකම් හරි කමක් නෑ නිදි වරන් පාඩම් කරනවා කියලා ගෙදර තිබ්බ ඔක්කොම notes උස්සන් ආපු මමත් සිකියත් " අද නොවේ හෙට " කියලා සැපට නිදා ගත්තා...(මොනවා උනත් අපරාදේ කියන්න බෑ..ඒ notes වලින් බහුතරයක් ගෙනියපු විදියට බෑග් එකේම තියෙද්දි එකම එක note එකක් දවස් තුනක් මාත් එක්ක ඇඳේ නිදා ගත්තා කියලා දන්නේ මගේ කාමරේ හිටපු උන්ම තමා...)
පහුවෙනිදා දවස රස ගන්න රස දෙන්න වෙලාවක් තිබුනේ නෑ..උදේ 8ට ගිනි අව්වේ මැච් ගහලා අයේ හවස 6.30ටත් මැච් එකක් ගහන්න අපිට වුනා..දෙවෙනි දවස ඉවර වෙලා අපි හොස්ටල් එකට ආවේ ජයග්‍රාහි මානසිකත්වයෙන් සහ හොඳ පණ ගිහින්... ඊට පහුවදා ඒ කියන්නේ තුන්වෙනි දවසේ උදේම මැච් තිබුණේ නැති නිසා අපිට එදා නම් රෑ වෙනක්ම් ඉන්න පුළුවන්කම තිබුනා..එදා තමා මමයි සිකියයි පොතක්  අල්ලන්න පටන් ගත්තේ..ඒ ඇල්ලීම හුදෙක් ඇල්ලීමක්ම විතරක් වුනා..පොත පෙරළුවා විතරයි නිදිමතයි..හරි යන්නේ නෑ..පටන් ගත්තා අපි දෙන්නා කවීන් අල්ලගෙන කයියක්..යොහාන් නිදි පෙරේතයා පොලොවේ ගැහුවා වගේ..11.30ට වගේ ලකාත් එනවා අපේ කාමරේට පාඩම් කරන්න කියලා..stat පොතක් අරන් ආපු ඌත් ටිකකින් පොත් පැත්තක තියලා අපේ කයියටම සෙට් වුනා...පාඩම් කරන්න කියලා හිතපු අපි තුන්දෙනාගෙයි කවීන්ගෙයි කයිය පාන්දර 1.30 වගේ වෙනකම් ඇදුනා...ජීවිත කතා රස කතා ආදර කතා බාස්කට්බෝල් කතා ඔක්කොම එතන දිගෑරෙන්න පටන් ගත්තා..අපි එදා තමා දැනගත්තේ කෙල්ලෙක් නැත්නම් කවීන්ද සයන්ස්කාරයෙක් වන්නට හිටි එකෙක් විත්තිය...

          තුන්වෙනි දවසේ අපි ඇහැරෙනකොට 7ට වගේ...කලින් දවසේ අපි කතාකරගෙන තිබුනේ girls team එකත් එක්ක කට්ටියම කොහේ හරි කඩේකට ගිහින් කන්න..ඉතින් කට්ටිය ready වෙලා 8ට 9ට විතර එලියට බැස්සා...ඒත් කෙල්ලොන්ගේ බෝඩිමේ වතුර ප්‍රශ්නයක් නිසා girls team එකට වෙලාවට ලෑස්ති වෙන්න බැරි වෙලා...ඒ බව අපිට දැනුම් දුන්නේ අපේ වනිතා කටයුතු පිළිබඳ නියෝජිත යොහාන්...කොහොම උනත් බඩගින්න ඉවසන්න බැරි නිසා එරාවූර් වල කඩයකට අපේ team එක මුලින් කන්න ගියා...කන්න ගියාම අපේ කට්ටියගේ හැටි කියන්න ඕනේ නෑනේ..කෑම වැඩ බලන්න හිටිය යසස් අයියාගේ ඉහ මොල රත් වෙන්නම අපේ කට්ටිය කන්න වග බලා ගත්තා..නුවා චරියා ලකා දුෂා 20-20 batsmanලා වගේ බැට් කරන්න ගත්තේ..සුරේන්ගේ බඩේ අමාරුවක් නිසා සුරේන් පැත්තක් ගහල බලාගෙන හිටිය වෙන්නේ මොකද කියලා..ඒ අතරේ දුෂා තමා හොඳම වැඩේ කලේ...කඩේ වේටර් අයියා කෙනෙක් අපෙන් අඩුපඩු අහනවා..මෙන්න මෙහෙම...(සම්පූර්ණ දෙබසම යන්නේ සිංහලෙන්..වේටර් අයියත් කොහොමහරි සිංහලෙන්ම අහනව...)
වේටර් : මල්ලි මොනවද තව ඕනා...??
දුෂා : මොනවද අයියේ තියෙන්නේ..??
වේටර් : බිත්තර රොටි හදලා දෙන්න පුළුවන්..ඕනද???
දුෂා : ආහ්... හරි අයියේ ගේන්න..
වේටර් : කීයක් ඕනද මල්ලි???
දුෂා : ම්ම්ම්...පත්තු දෙකක් ගේන්න...
අපි : හුහ්..( ඇත්තටම හිතාගන්නවත් වචන නැති වුනා )
        අර දෙමළ කෙනෙක් වුන වේටර් අයියත් සිංහලෙන් කතා කරද්දි දුෂා දෙමළෙන් උත්තර දෙන්න ගිහින් නාගත්තා කියලයි මට නම් හිතුනේ...ඇත්තටම දුෂා පත්තු දෙකයි කියල අදහස් කලේ විස්සද දොළහද කියලා මට තාමත් හිතාගන්න බෑ..කොහොම උනත් අර අයියා ඕඩර් එක දුන්න බිත්තර රොටි හදන්න...මෙහෙම කෑවොත් මැච් පැත්තක තියලා කඩේ වළං හෝදන්න වෙනවා කියලා තේරුන නිසාද මන්දා යසස් අයියා "මල්ලි මේ කාපු තරම ඇති" කියල රතු නිවේදනය දුන්නා...

         දැන් කඩේ රොටි හදන කොල්ලා පණ දාගෙන බිත්තර රොටි හදනවා...දැන් තව කන්නත් එපා කියලානේ තියෙන්නේ..මුලින්ම ගෙනාවා බිත්තර රොටි පහක් විතර...ගෙනාවට පස්සේ දෙබස මේ විදියයි...
වේටර් : මල්ලි..බිත්තර රොටි ගෙනාවා..
යසස් අයියා : බිත්තර රොටි එපා අයියේ..මේ කෑවා ඇති..
වේටර් : ඇයි අර මල්ලි ගේන්න කිව්වේ...
යසස් අයියා : නෑ අයියේ..මේ ඇති...
වේටර් : (දුෂාගෙ ලඟට ගිහින් ) මල්ලි...ඔයා කියන්න මල්ලි..රොටි ඕනද..??
දුෂා : නෑ අයියේ මේ ඇති...
        වේටර් එතනින් එහාට දෙමලෙන් කියවන් ගියා විනාඩි තුනක් විතර.....(අපිට තේරුණේ නැති නිසා හොඳයි.. ) කොහොම හරි මම හිතුවේ ඒ වැඩේ නිසා උදේටත් කාලා ගුටිත් කාලා එන්න වෙයි කියලා...යසස් අයියාගේ කැපවීම නිසාම අන්තිමේ තුන්දහස් ගාණක බිලකින් ඒ වේල ගොඩ දාගන්න පුළුවන් වුනා..එතනින් පාරට බැස්ස අපි වහලා දාපු කඩයක් ලඟ බිම ඉඳගත්ත.. කෙල්ලො ටික එතනට කන්න එනකම් එක එක විකාර කරන්න ගත්තා..ඔහොම ඉන්නකොට තමා ධනාගේ dobsmash අදහස එලියට ආවේ...කට්ටියගේම ඒකඡන්දයෙන් වැඩේ අනුමත වුනා...කීප සැරයක් පුහුණුවීම් කරලා අන්තිමේ Despicable Me Banana track එකට අපි සාර්ථක dubsmash එකක් කලා...

අපේ dubsmash එක... #bromance in #bananaland

         දුෂා කඩේදි කල පත්තු දෙකේ වික්‍රමය නිසා දුෂාට පත්තුවා කියලත් කියන්න ගත්තා...කොහොමින් කොහොම හරි මේ හැම වැඩෙන්ම වුනේ සුරේන්ගේ වාක්‍යය ජනප්‍රියම වාක්‍යය වුන එක...අපි එතනින් පිටත් වෙද්දිත් සුරේන් කිව්වේ..

"ඒකනේ බං මම කියන්නේ මූ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ කියලා.. "

ප.ලි. : මේ කතාව හිතුවේ නැති විදිහට තුන්වෙනි කොටසකටත් ඉඩ ඉතුරු කලා...දවස් හතරක ගමනක මෙච්චර කතා තියෙන්න පුලුවන්ද කියලත් මටම හිතෙනවා..අනේ මන්දා..කොහොම වුනත් දොඩම් සිද්ධිය වගේම චරියා නිසා අපේ පාරිභාශික වචන මාලවට එකතු වුන වචන ගැනත් ලියන්න එහෙම්මමයි..තුන්වෙනි කොටසත් හෙට අනිද්දම ලියන බලාපොරොත්තුවෙන් (එතකොට සතියකින්වත් ලියන්න හිතෙයි නේ..) නවතිනවා...

             එහෙනම් කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - III කොටසින් හමුවෙමු .......

Tuesday, June 30, 2015

කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - I කොටස

         පුලුවන් තරම් Blog එක ලියනවා කියලා කොයිතරම් කයිවාරු ගැහුවත් මම මේ Blog එකට ගොඩ වදින්නේ මාස හයකටත් වඩා කාලෙකට පස්සේ...2015 අවුරුද්ද කියන්නේ මගේ කැම්පස් ජීවිතයේ අන්තිම අවුරුද්ද... (extended degree එකට select උනොත් තව එකක් ඉන්න පුලුවන් ).. 2015 ජුනි මාසය පටන් ගන්නේ අපේ අන්තිම අවුරුද්දේ පලවෙනි විභාග මාලාව පටන් ගැනීමත් එක්කමයි..මේ එක තව විශේෂ වෙන්න හේතුවක් තමා අන්තර් විශ්ව විද්‍යාලයීය තරඟ මාලාවත් මේ අස්සේම පැවතීම...ගිය අවුරුද්දේ අන්තර් විශ්ව විද්‍යාලයීය පැසිපන්දු තරඟ බලලා ඇතිවුන ආසාවට  මගේ ගජයො වන සිකියත් (ඔව් ඔව්..අර මංගල දැන්වීම දාපු එකා තමා...).. සුනෙතුත් මමත් පැසිපන්දු පුහුණුවීම් වලට යන්න ගත්තේ ගිය අවුරුද්දේ අන්තිම කාලේ...ඒ වෙනකොට අපිට තේරුම් ගිහිල්ල තිබුනේ කැම්පස් එකේ අපිට ගැලපෙනම තැන basketball court එකම තමා කියලා..exam වලට කෙල වෙන්න කියලා අමුතුවෙන් දෙයකුත් නැති එකේ කැපවීමෙන් practice වලට ගියා...

        කොහොමින් කොහොම හරි කාලයාගේ ඇවෑමෙන් 2015 අන්තර් විශ්ව විද්‍යලයීය තරඟ මාලාවත් ලං වුනා..අපි කල පෙර පිනකට මේ සැරේ tournament එකට යන team එකට අපි තුන් දෙනාත් තේරුනා..නමුත් කරුම සිද්ධිය වුනේ tournament එක exam එක මැද්දේ වැටුන එක...කොච්චර ලියුම් ලිව්වත් tournament එකවත් exam එකවත් කල් දාගන්න අපිට බැරි වුනා..අන්තිමේදී අපිට පුලුවන් උනේ අදාළ දවස් වල තියෙන papers කල් දාගන්න විතරයි...(ඒ කල් යාම නිසා අන්තිමේදී එක දිගට දවස් 3ක paper 4ක් ලියන්නත් වුනා..)..ඒකෙන් මේකෙන් වුනේ සුනෙත්ට tournament එකට යන්න බැරිවුන එක..ජුනි 18-22 දවස් වල නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පැවතුන Inter University Basketball Tournament එක අතරමැද සිදුවුන රසබර සිද්ධි ටිකක් තමා අද මම මේ Blog ගත කරන්න හදන්නේ...

        කල් ඇතුව කොච්චර practice කලත් team එකම සෙට් වෙලා practice කරන්නේ අන්තිම මාසෙනේ..Exam කටේ තිබුන නිසා team එකේ හිටපු අපේ facultyයේ සිකි,ලකා සහ මම යන තුන්දෙනාම හැම වෙලාවෙම නැතත් පුළුවන් හැම වෙලාවෙම practice යන්න වග බලා ගත්තා..සමහර දවස් තිබුනා paper එක ලියලා එහෙම්මම court එකට යන..මටයි සිකියටයි කෙසේ වෙතත් ලකාට නම් exam එක ඔලුවට සෑහෙන pressure එකක් වෙලා තිබුණා කියල පෙනුනා..(අපිට ඉතින් උන්න හැටියට මළා මදැයි නේ..) අපි කට්ටියම ඒ කිව්වේ boys සහ girls team දෙකම 18 වෙනිද උදේ පාන්දර කැම්පස් එකේ බස් එකෙන් මඩකළපුව බලා පිටත් වෙන්නේ දහසක් බලාපොරොත්තු පොඩි බැඳගෙන..

රසබර සිද්ධි කියන්න පටන් ගන්න කලින් අපේ එක හඳුන්වලා දෙන එක හොඳයි කියලා හිතුවා..(පහසුවට පිළිවෙළටම කියාගෙන යන්නම් )
4. සුරේන් Bro
5. යසස් Bro
6. නුවා Bro
7. චරියා Bro (c)
8. ධනා Bro
9. ලකා Bro (v.c)
10. දුෂා Bro
11. කවීන් Bro
12. මම Bro
13. අවින් Bro
14. යොහාන් Bro
15. ඩමියා Bro හෙවත් සිකියා

          ඔය Bro කියන නාමය අපේ පොදු නාමයක් බවට පත්වෙන්නේ team එකේ captain චරියා නිසා...ඔය නම කොච්චර දිවට හුරු වුනාද කියනවනම් අන්තිමට අපේ team එක #TeamBros , #Bromance  කියලා තමා FB comments දාන්න ගත්තේ...ඔතනින් දුෂා යනු වෙන්න ඩොකෙක් වන අතර යොහාන් යනු pharmacy ඩයල් එකකි..මමත් ලකාත් සිකියාත් හැරෙන්නට අන් සියල්ලෝම management facultyයේය..අපි තිදෙනා සයන්ස්කාරයෝය...

         මඩකළපුවට යන එන එක trip එකක් කර ගත්ත අපේ කට්ටිය බොංගො එකක් එහෙම ගෙනත් ඒකට තලන ගමන් සිංදු කියන්න පටන් ගත්තා...උදේ කෑම ගන්නකම් ලාවට ගියපු සිංදු ටික කෑමෙන් පස්සේ උපරිම තලයකට ආවා..උපරිමය තවත් වැඩි වුනේ girls boys team දෙක ගීතෙන් ගීතය කරන්න ගත්තට පස්සේ...කෝෂලී සහ විශ්මි ප්‍රමුඛ girls team එකෙන් එල්ල වුන ගීත අභියෝගය අපිට ජයගන්න පුළුවන් වුනේ නොපසුබස්නා උත්සාහයෙන් යුතු සුරේන්, කවීන්, යසස් අයියා සහ අපේ තුරුම්පුව වුන පුහුණුකාර චන්න සර් නිසා...ඒ අතරේ තමා අපේ සුරේන් විසින් මුල්ම රසබර සිද්ධිය සපයන්නේ...මම මුලිනුත් කිව්වානේ අපේ මූලික වචනේ වෙච්ච #Bro ගැන..සුරේන්ට යොහාන්ව අමතන්න ඕන වුන වෙලාවක Bro කියන එකේ අකුරු පොඩ්ඩක් වෙනස් උනා..."Yo Bro" කියලා කියන්න ගිය එක "Yo Bra" වෙලා කියවුනේ සුරේන්ට මොකක් වෙලාද කියලා නම් දන්නේ නෑ...ඒ වෙලාවේ බස් එක නිහඬ වීමත් මහ සද්දෙන් කියවීමත් නිසා සුරේන් සැහෙන අපහසුතාවයකට පත් වුනා කියලා නම් කියන්නම ඕන...ඒ අතරෙම යොහාන්ගේ සහ girls team එකේ කෙල්ලෙක්ගේ නම් එකතු කරලා සර් එක්ක එකතුවෙලා ගෙනියපු මඩ ප්‍රචාරණයත් සරුවටම ගියා...අතරින් පතර පොඩි ඇඩ් කෑලි දැම්මා වගේ ලකා සහ ලකාගේ හිත ගිය නංගි ගැනත්,චරියා සහ ලකා එක මලකට පෙම් කල සිද්ධි ගැනත් සිංදු කවි කියවුනා...

          මේ අතරේ ගමන ආරම්භයේ පටන් දුෂා අයියාගේ ක්‍රියා පිළිවෙත් නිසා සුරේන්ගේ මුවග රැදුණු වාක්‍යයක් තිබුණා..ඒ තමයි
 "උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ "
කියන වාක්‍යය..සුරේන් ඕක කියන හැම වාරයක් ගානෙම ගනන් කරන පුරුද්දක් මටයි ලකාටයි තිබුනා..කොහොම හරි පළවෙනි දවස ඉවර වෙද්දි සුරේන් ඇතුළුව අනිත් team membersලා විසින් උඹ නම් දොස්තර කෙනෙක් වෙන්න බෑ කියන වාක්‍යය 106.5 වතාවක් කියවිලා තිබුනා..ඔය 0.5 එකතු වෙන්නෙත් අමුතු විදියකට...එක වෙලාවක සුරේන් ඒ වාක්‍යය මේ විදියට මගින් නතර කරනවා..
"උඹ නම් දොස්තර කෙනෙක්... එක්කො ඕන නෑ..."කියලා :P

        ප.ලි. තාම අපේ ගමනේ එක දවසක්වත් ඉවර නෑ...ඒත් ලියන්න දේවල් සෑහෙන තරම්...ඒක නිසා අනික් සිද්ධි ටික තවත් කොටසක ලියන්න බලපොරොත්තු වෙනවා..කතාවට Enter වෙන්න අටුවා ටීකා ටිප්පනි සෑහෙන ලියන්න වුන නිසා මේ කොටසේ වැඩි යමක් නෑ කියලා හිතෙයි...ඒත් හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට කියලා අමතක කරන්න එපා..මේ කතාව ලියන එක මම චරියා Bro ට වුන පොරොන්දුවක්...ඒක නිසා දෙවන කොටසත් අද හෙටම ලියනවා..

එහෙනම් කෝඩුකාර IU Tournament 1ක රසබර මතක - II කොටසින් හමුවෙමු .......