Wednesday, August 1, 2012

රැකියාවට මාස හයයි...

          අද අගෝස්තු පළවෙනිදා....ඒ කියන්නේ  අදට මම රස්සාවකට ගිහින් මාස හයක් වෙනවා....ඒ මාස හය පුරාවට රස්සාව නිසා මම සෑහෙන දෙයක් ජීවිතේට එකතු කර ගත්තා....වෙනස්ම ආකාරයේ අත්දැකීම් ගොඩකුත් ජීවිතේට එකතු වුනා...
          රට වටේ රවුම් ගගහා හිටපු මාව අපෙ තාත්තා රස්සාවකට පංගරාත්තු කලේ රස්සාව නිසාවත් මම එක තැනකට වෙලා ඉඳී කියල හිතලා වෙන්න ඇති....ඒත් මට ලැබුණු රස්සාව මටම ගැලපෙන රස්සාවක්...සම්මුඛ පරීක්ෂණයෙදිත් මුලින්ම ඇහුවේ.... 

මේකෙදි ලංකාව වටේම යන්න වෙනවා...දවස් තුන, හතර එක දිගට ගෙදරින් පිට ඉන්න වෙනවා...ඒකට කැමතිද??? කියලා...
          ඉබ්බා දියට දැම්මහම ඇන්නෑවේ කියන්නා සේ මමත් ගත්කටටම හා කිව්වා... 


          මේ රස්සාව නිසා මම ජීවිතේ කියනදේ කොච්චර අස්ථිරද කියලා තේරුම් ගත්තා...දවස් ගණන්, මාස ගණන් වයස පොඩි ළමයි මැරෙන හැටි දැක්කා...අවුරුදු එකොළහක පොඩි එකෙක්ගේ හුස්ම යන හැටි දැක්කා...ඒ වගේමයි පණ යන්න ඔන්න මෙන්න ඉන්න ලෙඩ්ඩු වෛද්‍ය සේවයට හා හෙද සේවයට පිං සිද්ද වෙන්න ආයෙත් ගොඩ යන විදිහ දැක්කා...ඒ වගේමයි අවුරුද්දකට කිට්ටු කාලයක් එක දිගට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙකුත් දැක්කා.....
        ඒ වගේමයි මෙතෙක් කල් පය නොතියා තිබුනු දිස්ත්‍රික්ක කීපයක ඇවිදලා මගේ විනෝදාංශය වන ඡායාරූපකරයේ යෙදෙන්නත් අවස්ථාව උදා වුනා...( හෙහේ.... කොටින්ම කිව්වොත් කෑමට පෙර අත් හෝදන්නත් පුරුදු වුනේ මේ රස්සාව නිසා... )
         
       අවුරුදු විස්සක කොල්ලෙක් විදියට මම් මේ රැකියාව ගැන බොහෝම තෘප්තිමත්...මම මේ රස්සාව නිසා ජීවිතේ විඳිනවා කියලා මට හිතෙනවා...ඇත්තම කිව්වොත් මම මේ රස්සාව හඳුන්වන්නේ සංචාරකයෙකුට ලැබුණු සංචාරක රැකියාවක් හැටියට....

Monday, June 18, 2012

දෙගිඩියාවකට ලක්වූ මගේ ප්‍රේමය...



අපොයි...
මගේ හිත දෙගිඩියාවකට ලක්වෙලා...මට හිතාගන්න බෑ මේ වගේ අවස්ථාවක මම මොකක්ද කරන්න ඕන කියලා...මේ වෙනකොට මගේ හිත ඇතුලේ මම පුංචි සන්ධියේ ඉඳන් බැඳි ප්‍රේමය හා මීට මාස 4 5කට කලින් හිතේ හටගත් ප්‍රේමයක් අතර ඝට්ටනයක් ඇති වෙලා...මට මේ එකක්වත් අතාරින්න කැමත්තකුත් නෑ....ඒත් මේ දෙකම එකට කරගෙන යන්න අමාරුයි....

ආහ්හ්...කියන්න අමතක වුනා....මෙතන ප්‍රේමයක් කියලා මම අදහස් කලේ සමාන්‍යයෙන් හැමෝම අදහස් කරන එකිනෙකා කෙරෙහි ඇතිවන ගතානුගතික ප්‍රේමයක් නම් නෙවෙයි....මේ ප්‍රේමය එක්තරා සිහිනයකට බැඳි ප්‍රේමයක් කිව්වොත් වඩා නිවැරදියි...ඔය වල් පල් ඔනේ නෑ...කතාව මම කෙටියෙන් කියලා දාන්නම්...

පොඩි කාලේ ඉඳලම මගේ එකම සිහිනය වුනේ ඉංජිනේරුවෙක් වෙන්න....එහෙම සිහිනයක් ඇති වෙන්නත් හේතු වුනේ 'ගණිතය' කියන විෂයට පොඩි කාලේ ඉඳලම තිබුන මගේ කැමත්ත....මට අද වගේ මතකයි මම තාත්තාගෙන් ඇහුවා...
තාත්තේ...Maths කරලා කවුරුද වෙන්න පුලුවන්..???     කියලා...
එදා තාත්තා දුන්නු උත්තරෙත් එක්ක මම ඒ ඉංජිනේරු සිහිනයට පෙම් බඳින්න පටන් ගත්තා....ඒ කාලෙ ඉඳලම මම වැඩි කැමත්තක් දැක්වුවේ සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න...මොකද කියනවානම් මම ඉංජිනේරු හිස්වැස්මට සෑහෙන්න ආසා කලා...ඒක නිසා ඒ සිහිනය සිවිල් ඉංජිනේරු සිහිනයක් කියලා කියන්න පුලුවන්...ඒත් පසු කාලීනව මගේ අතින් වුන අතපසුවීම් නිසා ඒ සිහිනය සෑහෙන දුරට බිඳිලා ගිය කියලා කියන්න පුලුවන්...ඒත් මගේ වාසනාවකට ඒ අතපසුවීම යන්තමින් හරි හදාගන්න මට දැන් අවස්තාවක් ලැබිලා තියෙනවා....දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අවස්ථාව මම ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියන එක ගැනයි...


දැන් තමයි මගේ පලමු ප්‍රේමය සමග ඝට්ටනය වෙන දෙවන ප්‍රේමය කල එලි බහින්නේ...ඒ කතාව මෙන්න මෙහෙමයි....

මීට මාස හතරකට පහකට කලින් ගෙදර ඉන්න කම්මැලිකමට පොඩි රස්සාවක් කරන්න පටන් ගත්තා...ඒ රස්සාව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සම්බන්ධ එකක්....ඒ පොඩි රස්සාව මගේ ජීවිතේට කොච්චරම ගැලපුනාද කියනවනම් මට දැන් හිතෙනවා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් වෙන්න තියෙනවා නම් කියලා....දැන් මට හිතා ගන්න බෑ මම මොකක් තෝරගන්නද කියලා...

මේකත් හරියට සමහර හින්දි චිත්‍රපටිවල තියෙන ජවනිකාවක් වගේ...හරියටම කියනවනම් තමන්ගේ හිත ගිය කෙල්ලව යාළු කර ගන්න කෙල්ලගෙ යාළුවාගෙන් උදව් ගන්න ගිහින් අන්තිමට කැරකිලා කෙල්ලගෙ යාළුවාවම සෙට් වුනා වගේ වැඩක් තමා මේකත්...

මොනවා වුනත් මට හිතෙන්නේ මේකට උත්තරේ කාලයා විසින්ම සපයයි කියලා...එතකන් මට තියෙන්නේ බලන් ඉන්න තමා....කොහොම හරි අන්තිමට හොඳ දෙයක් වෙන්නේ නැතෑ...

ප.ලි. Blog අවකාශයට ආධුනිකයෙක් වෙන මට මේ වගේ post එකක් Blog ගත කිරීමේ ගැලපීම නොගැලපීම ගැන කියන්න අමාරුයි...ඒත් මගේ හිත ඇතුලේ මේක දරාගෙන ඉන්න අමාරු නිසා මේ විදියටවත් මුදාහරින එක හොඳයි කියලා මට හිතුනා...


Sunday, May 13, 2012

මොටෝ-සයිකල් මාරුව...


පෙරවදන...
මම මගේ බ්ලොග් එකේ පලවෙනි post 1 දැම්මට පස්සේ ඕං අද තමා post 1ක් දාන්නේ...මෙච්චරකල් post 1ක් දාන්න හේතුවක් නැතුව හිටපු මට අද හේතුවක් හම්බ උනා...(මේක හුදෙක් මඩ ප්‍රහාරයක් ලෙස නම් සලකන්න එපා...මොකද මම අවසර ගත යුතු සියල්ලන්ගෙන්ම අවසර අරගෙන තමා මේ post 1 දාන්නේ....)

අවුරුදු පහු වෙලා දැන් මාසයක් පහු උනාට මොකද තාම අවුරුදු උත්සව නම් ඉවර නෑ...ඒක නිසා ලංකාවෙ තියෙන සිරාම, ආතල්ම සංගමයක අවුරුදු උත්සවේත් අද පැවත්වුනා...ඒකේදි කෙලපු බුල රාශියක් අතරින් කෙලපු හොඳම බුල ගැන තමයි මේ කියන්න හදන්නේ...ඒ බුල කෙලිලේ සැර කොහොමද කියනවනම් අන්තිමට පොලීසි ගිහින් තමා වඩේ නතර උනේ...කොහොමින් කොහොම හරි සංගමයේ ඉතිහාසගතම විදිල්ල ලෙස ඒ විදිල්ල නිතරඟයෙන්ම තේරී පත්වෙච්ච විත්තියත් මුලින්ම කියන්න ඕනා...

උදේ 9ට පටන් ගන්නව කියල 10ට පටන් ගත්ත මේ අවුරුදු උත්සවේ දවස පුරාම සිනහවෙන් සපිරිව දැහැමෙන් සෙමින් ගලාගෙන ගියා කිව්වොත් නිවැරදියි..ඒ අතරේ පුංචි පුංචි රසබර සිද්ධිත් නොවුනාම නෙවෙයි...ඒත් මේ සිද්ධිය එක්ක සසඳල බලන කොට ඒව බාලාංශ සීන් වගේ...අනික මේ අවුරුදු උත්සවේ දකින්න තිබුන තවත් අමුත්තක් තමා ජීවිතේට සරම් නොඇඳපු (එහෙම කට්ටිය හිටියෙ ටික දෙනයි..) අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ සරම් ඇඳගෙන තරඟ වලට සහභාගී වෙච්ච එක.....
දවස පුරාම කිසිම කම්මැලිකමකින් තොරව ගාලගෙන ගියපු මේ අවුරුදු උත්සවේ කෙමෙන් කෙමෙන් අවසානය කරා ලඟා උනා...ඒ සංගමේට අදාළ මව් ශඛාවේ කොළඹ දිස්ත්‍රික්කේ  ඉහළම නිළධාරියෙක්ගේ සහභාගීත්වයෙන් අවුරුදු උත්සවේ ත්‍යාග ප්‍රධානෝත්සවෙත් යස අපූරුවට සිද්ධ උනා...

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කියල කියන්නේ නිකන් කට කහනවට නෙවෙයිනේ...දැන් සියල්ලෝම තම තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත්ව යන්න සූදානම...නුවර, කුරුණෑගල වගේ දුර බැහරින් සහභාගී වෙච්ච සාමාජික සාමාජිකාවන් පිටත් වෙලා ගියාට පස්සේ ඉතුරු උනේ කොළඹ,ගම්පහ දිස්ස්ත්‍රික්ක වල කට්ටිය විතරයි...දැන් ගම්පහ කට්ටියත් පිටත් වෙන්න සූදානම...ඒ උනත් එතන පොඩි අවුලක් වගේ...මමත් ගිහින් ඔලුව දාල බැලුව මොකද වෙලා තියෙන්නේ කියලා...අපේ සංගමේ "රන් කුඹලා" (ඔය 'රන් කුඹලා' කියන නම හැදුන විදියත් ඊළඟ post එකකින් බලාපොරොත්තුවන්න..) මොටෝ සයිකලේක යතුරක් අතේ තියාගෙන හතර අතේ කැරකෙනවා....කට්ටියම අහල බැලුවා මොකෝ සිද්ධිය කියලා...
"මචං...මගේ බයික් එකේ යතුර තියෙනවා...ඒත් බයික් එක නෑනේ...තව එකක්...මෙතන අයිතිකාරයෙක් නැති බයික් එකකුත් තියෙනව...මගේ යතුරෙන් ඒක ස්ටාර්ට් කරන්නත් පුලුවන්...එතකොට මගේ බයික් එකට මොකක්ද උනේ???"

"හතිලව්වයි....මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ..."
ඒක අහපු මට නම් හිතුනෙ එහෙමයි.... ඊට පස්සෙ කට්ටිය පටන් ගත්ත 'රන් කුඹල'ගෙ මොටෝ සයිකලේ හොයන්න... අපි මුලින්ම හිතුවා කාගෙ හරි මොටෝ සයිකලයක් එක්ක මාරු වෙල තමා කියලා..ඒක නිසා මොටෝ සයිකල් වලින් ආපු හැම එකාටම දීල බැලුවා...එහෙම මාරු වෙලත් නෑ...ඊට පස්සෙ නම් හිතුනේ මොකෙක් හරි පිට එකෙක් පන්සිල් වලින් දෙවෙනි සිල් පදේ කඩල තමා කියල.. ඒක නිසා කෝකටත් කියලා 119ට කතා කරල වෙල තියෙන සංතෑසිය අකුරක් අඩු නැතුව කිව්වා...
අප්පට සිරි...ඊට පස්සේ අවේ නැතැයි පොලීසියෙන් ජීප් 1ක්...ඇවිත් මොටෝ සයිකලේ විස්තර එහෙම අහල අදාල තැන් වලට දැනුම් දුන්නා...ඕන් ටික වෙලාවකට පස්සේ මොටෝ සයිකලේ ගැන ආරංචියක් ලැබුනා...මොටෝ සයිකලේ වැල්ලවත්ත පොලීසියෙලු... ඒක ඇහුව විතරයි සියල්ලෝම තම තමන්ගේ නිගමන ඉදිරිපත් කරන්න ගත්තා...  ඕං  ඔය වෙලාවේ තමා බළල මල්ලෙන් එලියට පැන්නේ...

වෙන්න පුලුවන් සිද්ධිය ගැන නිවැරදිම අර්ථකතනය ඉදිරිපත් කලේ කිරිඳිවැල පැත්තේ හාදයෙක්...මිනිහගෙ නිගමනේට අනුව මේ විදිල්ල විදල තියෙන්නේ අවුරුදු උත්සවේ ප්‍රධාන සංවිධායකතුමා....සංවිධායකතුමා දවල් වරුවේ රන් කුඹලගේ මොටෝ සයිකලෙන් වැල්ලවත්තට ගිහින් තියෙනවා අවුරුදු උත්සවේ වැඩකට...එතනදි සංවිධායකතුමා අතින් කුමන හෝ හේතුවක් මත මොටෝ සයිකලේ මාරු වෙලා තියෙනවා...සංවිධායකතුමාගෙ මොකක් හෝ කරුමෙකට  කුඹලගෙ යතුරෙන් අර මොටෝ සයිකලේ ස්ටාර්ට් වෙලත් තියෙනව...

ඒත් දෙයියනේ  මනුස්සයෙක්තමන් ගියපු මොටෝ සයිකලේ මොකක්ද කියල අමතක වෙන්න පුලුවන්ද??
අනික ඒ යතුරෙන්ම ස්ටාර්ට් කරන්න පුලුවන් මොටෝ සයිකලයක් එතනම තිබුනේ කොහොමද???

 ඔය ප්‍රශ්න දෙකට මට නම් උත්තරයක් හිතාගන්න අමාරුයි....කොහොම හරි අන්තිමට වැල්ලවත්ත පොලීසියෙ පැයක් විතර කට්ට කාල මොටෝ සයිකලේ බේරගෙන 'රන් කුඹල'ව ගෙදර පිටත් කලා....මිනිහ ගෙදර ගියාද නැත්ද කියල මට මේ වෙනකම් නම් ආරංචියක් අවේ නෑ...ඒත් පරිස්සමින් යන්න ඇති කියල හිතනවා...



ප.ලි.. ඔය ඡ්යාරූපයේ මොටෝ සයිකලේ ඉස්සරහින් ඉන්නේ 'රන් කුඹලා' බවද...පිටිපස්සෙන් ඉන්නේ දවසේ රොබින් හුඩ් හෙවත් ප්‍රධාන සංවිධායකතුමා බවද....ඡ්යාරූපයේ දැක්වෙනුයේ සංවිධායකතුමා විසින් පැහරගන්නා ලද මොටෝ සයිකලය බවද සලකන්න... 
මේ කතාව ලියනකොට ඒ අවස්ථාවේ සිදුවූ සියල්ල ඒ අයුරින්ම blog ගත කිරීට නොහැකි වූ බව ප්‍රකාශ කිරීමට කැමත්තෙමි...එනමුත් කතාවට තාර බැර එකතු කිරීමකින් තොරව හැකි උපරිමෙන් රස වින්දනයට බාධාවක් නොවන ලෙස කතාව ඉදිරිපත් කිරීමට යත්ත දැරුවෙමි...

Sunday, March 11, 2012

මගේ ආගමනය....

ඔන්න හා හා පුරා කියලා මමත් Blog 1ක් ලියන්න පටන් ගත්තා... :)


මාස 4ක් 5ක් තිස්සේ හිත ඇතුලේ කැලැති කැලැති  මේ අදහස තිබුනට අද වෙනකම් පස්ස ගැහුවෙ 1st Blog post 1 විදියට මොකක් ගැන ලියනවද කියල මට හිතාගන්න බැරි වෙච්ච නිසා...ඇත්තම කිව්වොත් මට අද වෙනකොටවත් ඒ ගැන නම් හිතාගන්න බෑ....ඒක වෙනම කතාවක්... ;)


මේ Blog 1 ඉස්සරහට මොන විදියට ගලා ගෙන යයිද කියන්න මම නම් දන්නේ නෑ...Bt මම හිතනව මේක දිගටම කරගෙන යන්න මට පුලුවන් වේවි කියලා...කොහොම උනත් මාව Blog කලාවට යොමු කරපු EnigmAලියන Charitha අයියට බොහෝම ස්තූතියි...


ප.ලි. මල ජංජාලයයි... මම දැන් තමයි දැක්කේ මම Blog එකේ profil 1ක් හදාගෙන මාස 18 වෙනව කියල....හික්ස්...